ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා ඒකාබද්ධ නිල කමිටුවක්

ඉන්දියාව විසින් ලබාදෙන අමෙරිකානු ඩොලර් මිලියන 450ක පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණ පැකේජය හැසිරවීම සඳහා දෙරටේ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වනවා.
ඒ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති, සිදුකළ යුතු මිලදී ගැනීම් සහ ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා ඉන්දියාවෙන් මිනිස් බලය යෙදවීම පිළිබඳ තීරණය කිරීම වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානියත් සමග ඉන්දියාව විසින් හදිසි ආධාරයක් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 450ක පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබා දුන්නා.
කෙසේ වෙතත් මෙම අරමුදල කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ඉන්දීය නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ නිල කමිටුවක් පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ ඉන්දියානු ණය මාර්ගය යටතේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති, මිලදී ගැනීම් සහ ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා ඉන්දියාවෙන් මිනිස් බලය යෙදවීම පිළිබඳව තීරණය කිරීම සඳහායි.
මෙම ඒකාබද්ධ කමිටුව මාර්ග සහ දුම්රිය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය, නිවාස, කෘෂිකර්මාන්ත සහ ක්ෂණික ආපදා ප්‍රතිචාර කණ්ඩායමක් පිහිටුවීම යන කාණ්ඩ පහ යටතේ මාස තුනක්, මාස හයක් සහ මාස නවයක් තුළ ව්‍යාපෘති නිම කිරීමට කාල රාමු තුනක් යටතේ කටයුතු කිරීමට නියමිතයි.
නිවාස, වෛද්‍ය, අධ්‍යාපනය, දුම්රිය සහ මාර්ග ඉදිකිරීම් සම්බන්ධ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සඳහා තාක්ෂණික සහාය ද ලබාදීමට ඉන්දියානු කණ්ඩායම් මෙහි පැමිණීමට අපේක්ෂා කෙරෙනවා.
මෙම කමිටුවේ පළමු රැස්වීම ලබන සතියේ පැවැත්වීමට නියමිත අතර, එහිදී ප්‍රමුඛතා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ලැයිස්තුවක් හඳුනාගනු ඇති.

Share