ආපදා ප්‍රතිචාර දැක්වීමේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ශක්තිමත් සහයෝගයක් ලබා දෙයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේදී, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කරනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවේ ජන ජීවිත යළි ගොඩනැගීමේදී සහ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කිරීමේදී අතීතයේ මෙන්ම, ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ උරෙන් උර ගැටී සිටින බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත එවූ ලිපියේ මේ බව සඳහන් කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ විශේෂ නියෝජිතයා ලෙස මෙරටට පැමිණි එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා ඊයේ ජනාධිපති කාර්යාලයේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හමු වුණා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් යොමු කරන ලද විශේෂ ලිපියද මෙහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත භාර දුන්නා.

එම ලිපියේ පිටපතක් පසුව ජනාධිපති මාධ්‍ය අංශය විසින් ජනමාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

එහි සඳහන් වන්නේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු රට යථා තත්ත්වයට පත්වෙමින් සිටින මොහොතක, සහන සැලසීමේ සහ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළහිදී ඉන්දියාවට ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා විශේෂ නියෝජිතයා ලෙස එවූ බවයි.

සිය ‘අසල්වැසියාට ප්‍රමුඛතාවය’ යන ප්‍රතිපත්තිය සහ පළමුව ප්‍රතිචාර දැක්වීම සඳහා වන කැපවීම අනුව යමින් අපි, හදිසියේ පැන නැඟුණු අභියෝගවලට මුහුණ දීම සඳහා ‘සාගර් බන්ධු’ මෙහෙයුම දියත් කළ බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ ‘සාගර් බන්ධු’ මෙහෙයුම අප දෙරට අතර සබඳතාවන්හි පුළුල් සහ ගැඹුරු ප්‍රකාශනයක් ලෙස පිළිගැනීමට ලක් වීම පිළිබඳ සතුටු වන බවයි.

ශ්‍රී ලංකාව දැන් මීළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන බැවින්, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව සිය ලිපියෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහතික වී තිබෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ජන ජීවිත යළි ගොඩනැගීමේදී සහ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කිරීමේදී අතීතයේ මෙන්ම, ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ උරෙන් උර ගැටී සිටින්න බවයි.

මෙම තත්ත්වය තුළ, ඉන්දියාව විසින් ලබා දෙන පුළුල් ආධාර පැකේජය වඩාත් හොඳින් ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කරන බවද නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.

ශ්‍රී ලංකාව පෙරටත් වඩා සවිමත්ව යළි නැගී සිටිනු ඇතැයි විශ්වාසය පල කරන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම ගමන් මඟේ දී මෙන්ම,ජාතික සංවර්ධනයේ දී සහ ප්‍රගතියේ දී ද, සැමවිටම ශ්‍රී ලංකාවට, ඉන්දියාව තමන් පසෙක සිටිනා බව දැක ගැනීමට හැකි වනු ඇතැයි සිහිපත් කරනවා.

Share