දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ජාතික ආපදා තත්වය හමුවේ සහය දැක්වූ විදේශීය යුද නෞකා වෙත ප්‍රනාමය පිරිනැමේ ජාත්‍යන්තර නෞකා නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක් කොළඹ ගාලු මුවදුරට ඔබ්බෙන් බටහිර මුහුදේ දී පැවැත්වුණා.
මේ අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනී අමරසූරිය මෙනවිය ද එක් වී සිටියා.
මෙම ජාත්‍යන්තර යුධ නෞකා නිරීක්‍ෂණය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීවයි.
මීට පෙර පැවැත්වීමට සූදානම් කර තිබූ මෙම යුද නෞකා නිරීක්‍ෂණය ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් කල් දැමුනා.
කෙසේ වෙතත් ඒ වන විටත් මෙම නෞකා සංදර්ශනයට පැමිණ සිටි ඉන්දීය සහ පාකිස්ථාන නාවික හමුදාවට අයත් යුධ නෞකාවන් ඇතිවූ හදිසි ආපදා තත්ත්වයන්ට සහන සැලසීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකළා.
ගෝලීය සහ කලාපීය සහයෝගීතාවයද, සුරක්ෂිත සාගර කලාපයක් වෙනුවෙන් වන සාමූහික වගකීමද පෙන්නුම් කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමඟාමීව පැවති මේ ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය වෙනුවෙන්, බංගලාදේශ නාවික හමුදාවේ ප්‍රොට්ටෝයි යුද නෞකාව, ඉන්දීය නාවික හමුදාවේ අයි.එන්.එස් වික්‍රාන්ත් ගුවන් යානා ප්‍රවාහන නෞකාව හා අයි.එන්.එස් උදයගිරි යුද නෞකාව, ඉරානය නියෝජනය කරමින් අයිරිස් නග්දි යුද නෞකාව, මාලදිවයින් වෙරළාරක්ෂක බලකායේ සී.ජී.එස් හුරාවී, වෙරළාරක්ෂක නෞකාව, මැලේසියානු නාවික හමුදාවේ කේ.ඩී තෙරෙන්ගනු යුද නෞකාව, පාකිස්ථානු නාවික හමුදාවේ පී.එන්.එස් සායිෆ් යුද නෞකාව සහ රුසියානු නාවික හමුදාවේ ග්‍රෙමයෂි යන යුද නෞකා අට පසුගිය නොවැම්බර් 27 දින වන විට දිවයිනට ලඟා වී තිබුනා.
කෙසේ වෙතත් අනපේක්ෂිතව, දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හමුවේ ඇතිවූ ජාතික ආපදා තත්වය මත, දිවයිනපුරා ක්‍රියාත්මක කෙරුණු ආපදා සහන මෙහෙයුමට ශක්තියක් වෙමින්, දිවයිනට පැමිණි මෙම යුද නෞකා වෙතින් මානුෂීය ආධාර ලබා දීම ද සිදු කෙරුණා.
විශේෂයෙන්, ඉන්දීය නාවික හමුදාවේ අයි.එන්.එස් වික්‍රාන්ත් සහ පාකිස්ථානු නාවික හමුදාවේ පී.එන්.එස් සායිෆ් යුද නෞකා සතුව තිබූ හෙලිකොප්ටර් යානා යොදවමින්, ආපදාවට පත් පුද්ගලයන් සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ද දායක වුනා.
මෙලෙස පැමිණි විදේශීය යුද නෞකා ජාතික ආපදා අවස්තාවේදී මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා දක්වන ලද සහය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ රජයේ ප්‍රනාමය පුද කිරීම, පසුගියදා ගාළු මුවදොරට ඔබ්බෙන් වූ බටහිර මුහුදේදී පැවැත්වුනා.
මෙම ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය කිරීමේ අවස්ථාව සඳහා පැමිණි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සාම්ප්‍රදායික යුද නෞකා ආචාර්ය පිළිගැනීම සිදුකෙරුවේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගජබාහු නෞකාවේ සිටිමින්.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාපති අද්මිරාල් කාංචන බානගොඩ මහතා ඇතුළු මෙරට සිටින බංගලාදේශ, ඉන්දීය, ඉරාන, මාලදිවයින්, මැලේසියා, පාකිස්ථානු සහ රුසියානු මහකොමසාරිස් කාර්යාල සහ තානාපති කාර්යාල නියෝජනය කරමින් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් ද එක් ව සිටියා.





