ආපදා තත්ත්වයන්ගෙන් පසු කෙටි කාලීන හා දිගු කාලීන පියවර මඟින් රට යළි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමේ දී නිවැරදි දත්ත අත්‍යවශ්‍ය වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කරනවා.
අග්‍රාමාත්‍යවරිය මේබව පවසා තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලයේ නියෝජිතයින් සමග ඊයේ පැවති සාකච්ඡාවකදියී.
ගංවතුරට ගොදුරු විය හැකි ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ආපදා තත්ත්වයන්ගෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීම සහ නිවැරදි දත්ත ලබා ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලයේ නියෝජිතයින් සමග සාකච්ඡාවක් ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා.
ආපදා තත්ත්වයන්ගෙන් පසු ඵලදායී ලෙස ඉදිරි තීරණ ගැනීමේදී කාලෝචිත මෙන්ම නිරවද්‍ය තොරතුරු සහ දත්ත රැස් කිරීමේ වැදගත්කම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කර තිබෙනවා.
ඇය පෙන්වා දුන්නේ කෙටි කාලීන හා දිගු කාලීන පියවර මඟින් රට යළි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමේ දී නිවැරදි දත්ත අත්‍යවශ්‍ය වන බවයි.
මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් විසින් GIS තාක්ෂණය, චන්ද්‍රිකා ඡායාරූප සහ භූ දත්ත යොදා ගනිමින් පශ්චාත් ආපදා තත්වය තක්සේරුව සඳහා වන කෘතිම බුද්ධිමය වැඩසටහනක් වන RAPIDA සහ GRADE භාවිත කරමින් අවශ්‍යතා තක්සේරු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු අග්‍රාමාත්‍යවරියට ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ හරහා ආපදා තත්ත්වයන්ගේ බලපෑමට ලක් වූ ස්ථාන, ප්‍රජාවන්, සහ යටිතල පහසුකම්වලට සිදු වූ හානි ඇස්තමේන්තු කරමින් අවශ්‍ය තීරණ ගැනීම සඳහා උපකාරී වන බව එහිදී වැඩිදුරටත් පැහැදිලි කෙරුණා.
රජයට සිය සහාය ලබා දීමට සූදානම් බවත් ආපදා තත්වයන්ගෙන් පසු ඊට ප්‍රතිචාර දැක්වීම සහ හානි වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම කාර්යක්ෂමව සිදු කිරීමට රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම මෙම සාකච්ඡාවක් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර පැවැත්වුණා.
ආපදාවට ලක් වූ පළාත්වල රෝහල් මෙහෙයුම් ශක්තිමත් කිරීම, අඛණ්ඩ ප්‍රතිකාර සේවා සහතික කිරීම සහ හදිසි සෞඛ්‍ය සේවා සැපයීමේ හිඩැස් පියවීම කෙරෙහිද අවධානය යොමු වී තිබෙනවා.
රටේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීම සඳහා ඉන්දියාවේ සහාය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී නිල වශයෙන් ඉල්ලූ බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළා.
ශ්‍රී ලංකාවේ සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා ඉන්දියාවේ නොසැලෙන සහයෝගය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යළි තහවුරු කළ අතර, බලපෑමට ලක් වූ ප්‍රජාවන් මුහුණ දෙන දුෂ්කරතා ලිහිල් කිරීම සඳහා අඛණ්ඩ සහයෝගයක් ලබා දෙන බවටද පොරොන්දු වී තිබෙනවා.
ඒ අනුව මෙරට ප්‍රමුඛතම ඉන්ධන සැපයුම් ආයතනයක් වන Lanka IOC PLC ආයතනය විසින් “Rebuilding Sri Lanka” අරමුදලට රුපියල් මිලියන 50 ක් මූල්‍ය පරිත්‍යාගයක්ද , CEAT OHT Lanka Limited ආයතනය රුපියල් මිලියන 08 ක් සහ CEAT Kelani International ආයතනය රුපියල් මිලියන 04 ක් වශයෙන්ද මුල්‍ය පරිත්‍යාගයන් සිදු කළා.
මේ අතර ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය දිනක වැටුප “Rebuilding Sri Lanka” අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් ලබා දුන් මෙට්‍රික් ටොන් 700ක සහනාධාර ද්‍රව්‍ය රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් ඊයේ ත්‍රිකුණාමලය වරායට පැමිණියා.
ශ්‍රී ලංකාවට බලපෑ ගංවතුර සහ සුළි කුණාටු ආපදා තත්වයට පත් සිටින ජනතාව ගලවා ගැනීම සදහා ඉන්දීය රජය විසින් ලබා දී තිබූ එරට ගුවන් හමුදාව සතු එම්.අයි.- 17 හෙලිකොප්ටර් යානා දෙක අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා යළි ඉන්දියාව වෙත යොමු කිරීමත් සමග තවත් එවැනිම එම්.අයි. – 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද දහවල් කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුර වෙත පැමිණියා.
ඉන්දියාව වෙත ගිය හෙලිකොප්ටර් යානා දෙක මගින් පසුගිය 28 වැනිදා සිට ආපදා හේතුවෙන් කොටු වී සිටි පුද්ගලයින් 264 දෙනෙකු බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර ටොන් 50 ක භාණ්ඩ රට පුරා ආපදා තත්වයට මුහුණ දී සිටින ජනතාව වෙත බෙදාහැර තිබෙනවා.
හෙලිකොප්ටර් යානය සමග එරට ගුවන් හමුදා භටයින් 14 දෙනෙකු ද ආපදා සහන සේවා කටයුතු සඳහා සහය වීමට මෙරටට පැමිණියා.
මේ අතර ඉන්දියාව විසින් මෙරටට ලබා දෙන ආපදා ආධාර තොගයක් රැගත් C17 වර්ගයේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙම ගුවන් යානයෙන් මෙට්‍රික් ටොන් 61 ක් බරැති , අඩි 110 ක් දිග බේලි පාළමක් ද , කිලෝ ග්‍රෑම් 600 ක ඖෂධ මෙරටට රැගෙන එනු ලැබුවා.
මේ අතර පැවති ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ මීගමු කොච්චිකඩේ ප්‍රදේශයේ ජනතාවට ඉන්දීය රජය ආධාර යටතේ ලබාදුන් වියළි ආහාර ඇතුළු භාණ්ඩ බෙදාදීමේ වැඩසටහනක් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ ද සහභාගීත්වයෙන් අද පැවැත්වුණා.
දිට්වා සුළි කුණාටුවෙන් ව්පතට පත් වී සිටින ශ්‍රී ලාංකික ජනතාව සදහා ආපදා ආධාර තොගයක් රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 08 වැනි ගුවන් යානය අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
එම යානය තුළ 08 දෙනෙකුගෙන් යුතු පවුලකට දින 14 ක් සදහා සෑහෙන ආහාර අඩංගු ,ඇසුරුම් 1,080 ක් තිබූ අතර ඒවායේ මුළු බර මෙට්‍රික් ටොන් 27ක්.
මේ අතර දිට්වා සුළි කුණාටුව මඟින් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් බ්‍රිතාන්‍ය රජය විසින් පවුම් මිලියනයක ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් තෙරේසා ඕ’මහෝනි මහත්මිය රතු කුරුස සංවිධානයේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය වෙත පැමිණියා.





