ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාව අසල්වාසී රාජ්‍යයන් අතර සහයෝගී හවුල්කාරිත්වය සඳහා ගෝලීය ආකෘතියක් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසනවා. ඔහු මේ අදහස් පල කළේ ඉන්දීය ජනරජ දිනය සැමරීම සඳහා පැවැත්වූ ප්රියසම්භාෂණය අමතමින්. ඉන්දියාවේ 77 වැනි ජනරජ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවැත් වූ ප්රියසම්භාෂණය ඉන්දියා හවුස් හිදී ඊයේ සන්ධ්‍යාවේ පැවැත්වුණා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්රමුඛ රජයේ මැති ඇමතිවරුන්, හිටපු ජනාධිපතිවරුන්, දේශපානඥයින්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, රජයේ නිලධාරීන් ඇතුලු බොහෝ පිරිසක් එක්ව සිටියා.
සන්තෝෂ් ජා – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්
අපගේ නොබිඳිය හැකි බැඳීම අපගේ ශිෂ්ටාචාරමය සබඳතා සහ භූගෝලීය ආසන්නතාවය තුළින් ශක්තිමත් වී තිබෙනවා. ඉන්දියා – ශ්‍රී ලංකා සබඳතා අසල්වාසී රාජ්‍යයන් අතර සහයෝගී හවුල්කාරිත්වය සඳහා ගෝලීය ආකෘතියක් ලෙස මතු වී තිබෙනවා.
ඉන්දියාව ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායි සහ රඳාපැවතිය හැකි සහකරුවා වන බව මා නිතරම පවසා තිබෙනවා. විශේෂයෙන්ම අප දෙරට භූගෝලීය වශයෙන් ඉතා ආසන්නව පිහිටා තිබෙන නිසා අපගේ ආරක්ෂක සහයෝගීතාවයේ වැදගත්කම මෙතෙකැයි කියා කිව නොහැකියි.
මාගේ අදහස අනුව, අපගේ සබඳතාහි වඩාත් විශේෂම පැතිකඩ වන්නේ ස්වභාවයෙන්ම අප දෙරට ජනතාව අතර පවතින බැඳීමයි. ක්‍රිකට්, ආහාර කලාව, යෝගා හා ආයුර්වේද, නර්තනය සහ සංගීතය යන කවරක් සම්බන්ධයෙන් වුව ද අප අතර පවතින්නේ එකම හැඟීමක්. අපගේ ඉතිහාසයේ මෙම ගලායාම සමඟ කටයුතු කිරීමට සහ පොදු සෞභාග්‍යයේ සහ යහපැවැත්මේ අනාගතයක් ගොඩනැගීමට එකඟ වෙමු.





