අම්බලන්ගොඩ, ප්‍රදේශයේදී වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයෙකු විසින් කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායම් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදුව ඇති බවටයි පොලිසිය සැක පලකරන්නේ.

අම්බලන්ගොඩ, ගලගොඩ, කුලී ගොඩ ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 8.30ට පමණ. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ නිවසේ ඊයේ රාත්‍රියේ සාදයක්ද පවත්වා ඇති අතර ඊට සහභාගී වූ පිරිස වෙළෙඳසැලක් වෙත පිටත්ව ගිය අවස්ථාවේ මෙම වෙඩිතැබීම සිදුව තිබෙනවා. මියගිය පුද්ගලයා නිවස පිටුපසට ගිය අවස්ථාවේදීයි ඒ අසළ ලඳු කැලෑවක සැඟව සිටි වෙඩික්කරු වෙඩි තැබීම සිදුකර ඇතැයි සඳහන්. ඒ සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවටයි පොලිසිය සැක පලකරන්නේ. වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය මූලික රෝහළට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි දිනිඳු සම්පත් නැමැති 30 හැවිරිදි පුද්ගලයෙක්. පුද්ගල පහරදීමකට අදාළව ඔහුට එරෙහිව අධිකරණයේ නඩු කටයුතු දෙකක්ද විභාග වෙමින් පවතින බවට වාර්තා වන අතර මෙම වෙඩි තැබීම පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායම් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙසයි පොලිසිය සැකපලකරන්නේ. කෙසේවෙතත් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි. වසරේ මේ දක්වා වාර්තා වූ වෙඩි තැබීම් ගණන 6ක් වන අතර ඉන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් සිව්දෙනෙකු තුවාල ලැබුවා.

Share