මැදපෙරදිග පවතින යුදමය වාතාවරණයත් සමග පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉදිරියේදී මෙරටට අවශ්‍ය ඉන්ධන සැපයුම් අඛණ්ඩව සහ සුරක්ෂිව පවත්වාගෙන යාමට ඉන්දියාව ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබෙනවා.
අද දිනයේදී කොළඹ වරායට බොරතෙල් තෙල් නෞකාවක් පැමිණ ඇති අතර එය දින 18 ක පමණ කාලයක් සඳහා ප්‍රමාණවත් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම පවසනවා.
මේ අතර, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල් සිය රටෙන් ඛනිජ තෙල් නිෂ්පාදන ඉල්ලා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්දීර් ජයිස්වාර් පවසනවා.
අද කොළඹ වරායේ බොරතෙල් තෙල් නෞකාවක ගොඩබෑමේ කටයුතු සිදුවන අතර එය ඉදිරි දින 18 ක පමණ කාලයක් සඳහා ප්‍රමාණවත් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්ති කුමාර පවසනවා.
කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ මාසයේදී තවත් ඉන්ධන නෞකා 4ක් පැමිණිමට නියමිතව ඇති බවයි.
මැදපෙරදිග යුධමය තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ ඉන්දියාවේ සංචාරයක නිරත විදේශ අමාත්‍ය විජිත හේරත් අතර පසුගිය 6 වැනිදා පැවැත්වුණා.
එම සාකච්චාවේ දී මෙරට බලශක්ති අවශ්‍යතාවයට එල්ල විය හැකි බලපෑම් අවම කරගැනීම වෙනුවෙන් සහය ලබා දෙන ලෙසට විදේශ අමාත්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
අමාත්‍යවරයාගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ධනාත්මක ප්‍රතිචාරය ලබා දී ඇති අතර, ඒ සඳහා ගත යුතු ඉදිරි පියවර සහ ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් පවතින බවයි වාර්තා වන්නේ.
මේ හරහා ඉදිරි කාලසීමාව තුළ රටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සහ සුරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනු ඇති බවටයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ.
මේ අතර, කලාපයේ බරපතල තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා ඉරාන ජනාධිපති ආචාර්ය මසූඩ් පෙසෙෂ්කියන් සමඟ දුරකතන සංවාදයක් පැවැත්වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය X ගිණුමේ සටහන් කර තිබෙනවා.
එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ පවතින තත්ත්වය හමුවේ සිවිල් ජීවිත අහිමි වීම මෙන්ම සිවිල් යටිතල පහසුකම් වලට සිදුවන හානිය පිළිබඳව ඉන්දීය අගමැතිවරයා දැඩි කනස්සල්ල පළ කළ බවයි
මේ අතර, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල් ඛනිජ තෙල් නිෂ්පාදන සිය රටින් ඉල්ලා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට සමාලෝචන සිදුකරමින් සිටින බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්දීර් ජයිස්වාර් පැවසුවේ.
මේ අතර, මැදපෙරදිග කලාපයේ උත්සන්න වන ආතතීන් මධ්‍යයේ, රුසියානු තෙල් මිලදී ගැනීමට ඉන්දියාවට ඉඩ සලසමින් රුසියාවට එරෙහි අමෙරිකානු සම්බාධක තාවකාලිකව ලිහිල් කළා.
මෙම දින 30ක නිදහස් කිරීම ගෝලීය වෙළඳපොලේ තෙල් ගලා යාමට ඉඩ සැලසීම සඳහා “හිතාමතා ගත් කෙටි කාලීන පියවරක්” බවයි භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පවසා ඇත්තේ.
මේ අතර, ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද තත්ත්වයත් සමග හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව්ගත කිරීම් නතර කරන බැවින්, රුසියාව කොන්දේසි සහිතව යුරෝපයට තෙල් සහ ගෑස් සැපයීමට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.





