අද හිරු මුදුන්වන ප්‍රදේශ

අද දහවල් 12.13ට දෙහිවල, මහරගම, පන්නිපිටිය, පාදුක්ක, ඇහැළියගොඩ, මස්කෙළිය, සියඹලාණ්ඩුව සහ පොතුවිල් යන ප්‍රදේශවලට කෙලින්ම සූර්‍යයා මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය විසින් අද හෝමාගම කලාප අංක 02 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවා ඇත්තේ තවදුරටත් පවතින වියලි කාලගණ තත්ත්වය හේතුවෙන්.

සූර්යයා උතුරට ගමන් කිරීමේදී අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවල දී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඉහලින් සෘජුවම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අද දහවල් 12.13ට සූර්‍යයා දෙහිවල, මහරගම, පන්නිපිටිය, පාදුක්ක, ඇහැළියගොඩ, මස්කෙළිය, සියඹලාණ්ඩුව සහ පොතුවිල් යන ප්‍රදේශවලට සෘජුවම හිරු මුදුන් වනු ඇති.
මෙවන් පසුබිමක් තුළ පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද හෝමාගම කලාප අංක 02 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෝමාගම නගරය, වෑකන්ද, පින්කෙත පාර, වලව්ව පාර, ගැමුණු මාවත, අතුරුගිරිය පාර, ගලවිල වත්ත, නියඳගල, මාගම්මන, මහකටුවාන, දෙනිය සහ දියගම විශ්වවිද්‍යාලය යන ප්‍රදේශවල ජලය කප්පාදු කෙරෙනවා.
මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක කෙරෙන්නේ පෙරවරු 08.00 සිට පස්වරු 08.00 දක්වායි.
කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලට තවදුරටත් පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
මේ අතර පවතින වියළි කාලගුණික තත්ත්වය, එල්නිනෝ පාරිසරික බලපෑම් සහ දේශගුණික විපර්යාස සම්බන්ධව ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ පරිසර අමාත්‍යංශය කරුණු පැහැදිලි කිරීමක් කළා.

මේ අතර ලෝක බැංකු ආධාර හරහා ක්‍රියාත්මක දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ වන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ඊයේ එළි දක්වනු ලැබුවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම යෙදවුම පරිගණක හා ජංගම දුරකථන මගින් භාවිතයට ගත හැකි ලෙස නිර්මාණය කර තිබෙනවා.
මෙම යෙදවුම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට සම්බන්ධව ක්‍රියාත්මක කෙරෙන ආයතන පනහකට අධික ප්‍රමාණයක දත්ත ඇතුළත් කර ඇති අතර ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලිය ඇතුළු ආයතනවල දත්ත එකම වේදිකාවක් තුළ කෘතිම බුද්ධිය යොදා ගනිමින් විශ්ලේෂණය කෙරෙනවා.
මෙම දත්ත විශ්ලේෂණය කිරීම හරහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ආපදාවන් කළමනාකරණය කර ගැනීමට මෙන්ම පූර්ව අනතුරු ඇඟවීමට හැකියාව ලැබෙනවා.
එසේම දත්ත යාවත්කාලීන වීම හරහා මෙම යෙදවුම භාවිතකරණ සියලු දෙනා ඒ පිළිබඳව දැනුවත් වීම මෙන්ම ආපදාව වලින් සිදුවන හානි අවම කර ගැනීමටද හැකියාව ලැබෙනවා.
මෙම යෙදවුම හරහා මහජනතාව තොරතුරු දැනුම් දීමටත් අවස්ථාව සලසා තිබෙනවා.
ඒ අනුව ආපදාවක් සිදු වූ පසු එම ප්‍රදේශවල සිටින ජනතාවගෙන් ලැබෙන තොරතුරු අදාළ ආයතනවලට ඇතුළත් වීමෙන් ඒ පිළිබඳව නිරවද්‍යතාවය සොයා බලා වහාම ක්‍රියාත්මක වීමට හැකියාව ලැබෙන බවයි පැවසෙන්නේ.

Share