ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට එරෙහි නඩුව අද කැඳවීමට නියමිතයි.
2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී සිදුවී ඇති අල්ලස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකට අදාළව හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය බ්‍රහස්පතින්දායි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල සැකකරු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අද නඩුව සඳහා බන්ධනාගාරය විසින් සැකකරු අධිකරණය වෙත රැගෙන ආවා. මෙම ගනුදෙනුවේදී අල්ලස් වශයෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක පමණ මුදලක් සැකකරුගේ බිරිඳගේ ගිණුමට බැර ව ඇති අතර එම ගිණුමේ බැර වී තිබෙන්නේ මෙම ගනුදෙනුව සම්බන්ධ මුදල් පමණක් බවත් එම ගිණුම හරහා වෙනත් ගනුදෙනු සිදුවී නොමැති බවත් පසුගිය නඩුවාරයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා. මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු පසුගිය සිකුරාදා මෝසමක් ඉදිරිපත් කළා. මෙම මෝසම සම්බන්ධයෙන් වාචිකව විවෘත අධිකරණයේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා පැවසුවේ අල්ලස් කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා දේශපාලකයින්ගේ නම් සඳහන් කරන ලෙස සිය සේවාදායකයාට බලපෑම් කර තිබෙන බව සඳහන් කළා. මේ සම්බන්ධයෙන් මහේස්ත්රාත්තුමා ඉදිරියේ ප්‍රකාශයක් සිදු කිරීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ සම්බන්ධයෙන් ඉල්ලීම ද අද කරන ලෙස අධිකරණය එදින දැනුම් දුන්නා.





