අදත් ඉන්ධන පෝලිම්

ඉන්ධන අලෙවිය සඳහා QR ක්‍රමය හඳුන්වා දෙනු ලැබුව ද අදත් රටපුරා ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් නිර්මාණය වී තිබුණා.
මේ අතර වෙනත් පාර්ශ්වයකට පැවරූ වාහන සඳහා QR කේතය ලබා ගැනීමේදී මතුව ඇති අපහසුතා වළක්වා ගැනීම සඳහා එම වාහනවල පෙර හිමිකරුවන් තම ලියාපදිංචිය වෙබ් අඩවියෙන් ඉවත් කර මේ සඳහා සහාය දෙන්නැයි අමාත්‍ය එරංග වීරරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මැදපෙරදිග යුද ගැටුම් උග්‍රවීමත් සමග ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ ඇතිව තිබෙන සැපයුම් අවිනිශ්චිතතාව තුළ මෙරට ඉන්ධන සංචිත නිසි පරිදි කළමනාකරණය කර ගැනීමේ අරමුණෙන් ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය හරහා ඉන්ධන කෝටාව ලබාගැනීමේ QR කේත ක්‍රියාවලිය ආරම්භ කෙරුණේ පසුගිය ඉරිදා දිනයේයි.
එය ක්‍රියාත්මක කිරීමේ දී තාක්ෂණික ගැටලු මතු වීම හේතුවෙන් යම් සහනයක් හිමි වුවද ඊයේ පෙරවරුවේ සිට QR කේතය අනුව ඉන්ධන ලබා දීම අනිවාර්ය කෙරුණා.

මේ අතර ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාව සඳහා තවදුරටත් පොලිස් නිලධාරීන් යොදවා සිටිනවා.
කෙසේ වෙතත් බොහෝ පිරවුම්හල් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් වසා තබා ඇති අයුරු අදත් දක්නට ලැබුණා. මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින අතර, ඊයේ දිනයේ දීත් පිරිපහදු කළ ඉන්ධන රැගත් නෞකාවක් මෙරටට ළඟා වූ බවයි.

ඒ අනුව අදත් සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීම සිදු කෙරුණා. කෙසේ වෙතත් QR කේතය නොමැතිව පිරවුම්හල්වල ඉන්ධන බෙදා හැරීම සිදු වන බවට ස්ථාන කිහිපයකින් අපට වාර්තා වුණා

මේ අතර QR කේතය ලබා ගැනීමේදී පෙර හිමිකරු ලියාපදිංචියෙන් ඉවත් නොවීම හේතුවෙන් නව හිමිකරුවන්ට ලියාපදිංචි වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
ඊට විසඳුමක් ලෙස එලෙස පැවරුම් කළ සියලු වාහන අංක පද්ධතියෙන් ඉවත් කිරිමට පියවර ගත් බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසන්නේ.
අමාත්‍ය එරංග වීරරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටන්නේ තම වාහනය වෙනත් අයෙකුට පවරා ඇත්නම් එම ලියාපදංචිය වෙබ් අවඩියෙන් ඉවත් කර එම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙසයි.

මේ අතර ඉන්ධන සඳහා QR කේතය ලබාගන්නා අන්තර්ජාල නිල වේදිකාව ලෙසටම සකසන ලද ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් සයිබර් ආරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවනවා.
පරිශීලකයන්ගේ වාහන සම්බන්ධ පෞද්ගලික තොරතුරු ලබාගෙන එම දත්ත හරහා ඉන්ධන QR කේත නිර්මාණය කර ඉන්ධන ලබා ගැනීම එහි අරමුණ වී ඇති බවයි ඛනිජ තෙල් සංස්ථාව පවසන්නේ.
ඒ අනුව ජනතාවට දැනුම් දෙන්නේ FUELPASS.gov.lk යන වෙබ් අඩවිය පමණක් ඒ සඳහා භාවිත කරන ලෙසයි.

Share