පුරා සය දිනක් මෙරට සැදැහැත් ජනතාවගේ මුදුනත් බැතියෙන් වන්දනා ලැබූ, දෙව්නි මෝරි අති උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, හෙට උදෑසන, යළි ඉන්දියාව වෙත වැඩම කරවීමට නියමිතයි.
හුණුපිටිය ගංගාරාම විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් සඳහන් කළේ, උතුම් සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාකරගැනීම සඳහා අද රාත්‍රී 10න් පසු පෝළිම් සඳහා එක් නොවන ලෙස ජනතාවට දැනුම් දී ඇති බවයි.
දෙව්නි මෝරි අති උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගැනීම සඳහා මේ වන විටත් දහස් සංඛ්‍යාත ජනතාව ගංගාරාම විහාරස්ථ පුදබිම වෙත පැමිණෙමින් සිටින බව අප වාර්තාකරුවන් පවසනවා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ පූර්ණ මැදිහත්වීම මත, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සහභාගීත්වයෙන් දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ පසුගිය පස්වැනිදා ඉන්දියාවේ සිට මෙරටට වැඩමකරවනු ලැබුවා.
ධාතූන් වහන්සේ මෙරට ජනතාවට වන්දනා කරගැනීම සඳහා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේ තැන්පත් කෙරුණා.
එතැන් සිට ලක්ෂ සංඛ්‍යාත ජනතාවට දින 6ක් 24 පැය පුරාම සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවට අවස්ථාව ලබා දුන්නා.
එලෙස පැමිණෙන සැදැහැවතුන්ට අවශ්‍ය සියලු පහසුකම් කොළඹ මහනගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන විසින් සපයනු ලැබුවා.
අප වාර්තාකරුවන් සඳහන්කළේ, උතුම් සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව වෙනුවෙන් දිගු පෝලිම්වල රැඳී සිටින බවයි.
කෙසේවෙතත් සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාකරගැනීම සඳහා මෙරට සැදැහැත් ජනතාවට අවස්ථාව ලැබෙන්නේ හෙට පෙරවරු 6 දක්වා පමණයි.




