අතරමඟ නතරකර තිබු කාසිකෝටේ අලි උමඟේ ඉදිකිරීම් යළි ඇරඹේ

තාවකාලිකව නවතා දමා තිබූ ගල්ගමුව, කාසිකොටේ, වනඅලි උමං මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු යළි ආරමභ කර තිබෙනවා.
ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය සඳහා පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා ඇතුළු පිරිසක් එක්වුණා.

වර්තමානයේ බහුලවම සිදුවන වනඅලි මරණ සැලකිල්ලට ගැනීමේදී විදුලි වැට, අනවසර විදුලි රැහැන්, හක්ක පටස්, වෙඩිතැබීම් ආදී සිදුවීම්වලට අමතරව වනඅලින් දුම්රියේ ගැටීම පෙන්වා දිය හැකියි.
සංඛ්‍යා දත්ත පෙන්වා දෙන පරිදි පසුගිය 2025 වසරේ පමණක් 409 දෙනෙකුට අධික වනඅලින් ප්‍රමාණයක් මියගොස් තිබෙනවා.
ඉන් දුම්රිය අනතුරුවලින් මියගිය වනඅලින්ගේ සංඛ්‍යාව 50කට ආසන්නයි.
ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම අලි මරණ අනුපාතයක් සහිත රටක් ලෙස වාර්තා වූ පසුබිමක වගකිව යුතු පාර්ශවයන් ඊට විවිධ විකල්ප යෝජනා කළද ඒවා කොයිතරම් ප්‍රායෝගිකද යන්න පිළිබඳවත් පසුකාලීනව ප්‍රශනගත වුණා.
එම විකල්පවල නියමු ව්‍යාපෘතියක් වශයෙනුයි, උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ ඕමන්තේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණයට අදාළව, ඉන්දියානු මූල්‍යාධාර යටතේ කාසිකොටේ ප්‍රදේශයෙන් වනඅලින්ට දුම්රිය මාර්ගය තරණය කිරීමට උමං මාර්ගයක් සැලසුම් කෙරුණේ.
කෙසේවෙතත් පුරුදු පරිදි වනඅලින් උමං මාර්ගය මඟහැර දුම්රිය මාර්ගය මතින්ම ගමන් කිරීමත්, දුම්රිය මාර්ගය සහ ප්‍රධාන මාර්ගය සමාන්තරව පිහිටීමත්, උමං මාර්ගය තුළ ජලය එක්රැස්වීම ආදී කරුණු හමුවේ මෙම උමං මාර්ග ව්‍යාපෘතිය තවත් අසාර්ථ ව්‍යාපෘතියක් බවට සමාජයේ දැඩි කතාබහකට තුඩු දුන්නා.
කෙසේවෙතත් වනඅලින් අතිශය බහුල ප්‍රමාණයක් මෙම ස්ථානයෙන් දෛනිකව ගමන් කිරීම සැලකිල්ලට ගනිමින් සහ වනඅලින්ගේ මෙන්ම මිනිස් ජීවිතවලටද ඇති බලපෑම සැලකිල්ලට ගිනිමින් අතරමඟ නවතා දමා තිබූ මෙම උමං මාර්ගය යළි ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීමට පියවර ගැණුනා.

එම කටයුතු නිරීක්ෂණය සඳහා එක් වූ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සඳහන් කළේ, මාර්තු මාසය අවසන් වීමට පෙර ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට බලාපොරොත්තු වන බවයි.

Share