අංක අනුව බෙදන පෝලිම

වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම මත පදනම්ව හෙට සිට ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.
QR ක්‍රමවේදය හඳුන්වා දී තිබියදීත් ඉන්ධන පිරවුම්හල් අසළ පවතින දිගු පෝලිම් පිළිබඳ සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසනවා.
වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම ඉරට්ටේ හෝ 0 නම් ඉරට්ටේ දිනවලත්, සෙසු රථ වාහන සඳහා ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කෙරෙන අතර ඉන්ධන ලබා ගැනීම සඳහා QR කේතය අවශ්‍යයි.

දිනෙන් දින උත්සන්න වෙමින් පවතින මැද පෙරදිග යුදමය වාතාවරණය හමුවේ ගෝලීය වෙළෙඳපොලේ ඉන්ධන සැපයුම් දාමයේ පැන නැගී ඇති අවිනිශ්චිතතාව මත මේ වන විට රජය තීන්දු කිහිපයක්ම ගෙන තිබෙනවා.
අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගැනීම එහි අරමුණයි.
ඒ යටතේ රට තුළ ඉන්ධන සංචිත කළමනාකරණය කර ගැනීම සඳහා ඉන්ධන කෝටාවක් පසුගිය ඉරිදා හඳුන්වා දුන්නා.
සිව්දිනක් ගත වී ඇතත් තවමත් ඉන්ධන පිරිවුම්හල් අසල පෝලිම් දක්නට ලැබෙනවා.
රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ අද පෝලිම් වැඩි වී තිබුණා. ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා තිබුණ ද ජනතාව ඉන්ධන ලබාගැනීමේ අරමුණෙන් පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබුණා. මෙලෙස පෝලිම් පවතින්නේ කොලොන්නාව නිමාව සහ මුතුරාජවෙල පර්යන්තයෙන් අඛණ්ඩව ඉන්ධන බෙදාහරින පසුබිමකයි. මෙවන් පසුබිමක ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම අවසන් කර ගැනීමේ උත්සාහයක් ලෙස වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව හෙට සිට ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර QR කේතය ලබා ගැනීමේ දී පෙර ඇතුළත් කළ දුරකතන අංකය මේ වන විට භාවිතයේ නොමැති නම් දැනට භාවිතා කරන දුරකතන අංකය ඇතුළත් කර ලියාපදිංචි වීම සඳහා ද මේ වන විට පහසුකම් සලසා තිබෙනවා.

මේ අතර, ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචිවීමට සහය අවශ්‍ය රථවාහන හිමියන් වෙනුවෙන් විශේෂ වට්ස්ඇප් සේවාවක් හඳුන්වාදීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචියේදී ගැටලු පවතින පුද්ගලයින්ට 076 000 1919 යන වට්ස්ඇප් අංකය වෙත වාහනයේ අංකය ටයිප් කර යොමු කළ හැකියි.
මෙම අවස්ථාව වාහනයේ ලියාපදිංචි හිමිකරුට පමණක් හිමිවනවා.
ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය සමග වලංගු ආදායම් බලපත්‍රය සහ වාහන ලියාපදිංචි සහතිකය අදාළ වට්ස්ඇප් අංකය වෙත යොමු කිරීමෙන් ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචියට සහය හිමිවන බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසනවා. ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ QR දෝෂ නිරාකරණය කර ගැනීමෙන් පසු පිරවුම්හල් වෙත පැමිණෙන ලෙසයි. ඉන්ධන තොග සඟවන පිරවුම්හල් හිමියන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක ක්‍ෂේත්‍රයේ නිරතවන්නන්ට ඉන්ධන ලබාගැනීම සඳහා විශේෂ QR ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, එම අධිකාරියේ https://tourismfuel.sltda.gov.lk යන වෙබ් අඩවියට පිවිස ඒ සඳහා අයදුම් කළ හැකියි.
මේ අතර ධීවර ක්ෂේත්‍රයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා පැවසුවා.
මෙම වැඩපිළිවෙළ යටතේ, එක්දින සහ කුඩා පන්න යාත්‍රා සඳහා මීට පෙර පැවති ක්‍රමවේදයටම ධීවර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පිරවුම්හල් 100කට ආසන්න ප්‍රමාණයක් හරහා ධීවර නිලධාරීන්ගේ නිර්දේශය මත ඉන්ධන ලබා දෙනු ඇති.
දෛනිකව ක්‍රියාත්මක වන මෙවැනි යාත්‍රා 30,000ක් පමණ පවතින අතර, එක් යාත්‍රාවකට දිනකට ලීටර් 25 බැගින් දින 5කට වරක් ඉන්ධන නිකුත් කෙරෙනවා.
මත්ස්‍ය සැකසුම් කර්මාන්තශාලා හා ඉස්සන් ගොවිපොළවල ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධන, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ඇති කරගන්නා ගිවිසුම් ප්‍රකාරව ලබාගත හැකි බව අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළා.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවසුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිගු කාලීන ටෙන්ඩර් ප්‍රදානය කර තිබූ ඉන්ධන නෞකා දෙකක් සහ පෞද්ගලික අංශයේ ඉන්ධන නෞකාවක් ප්‍රමාද වන බව දැනුම් දී ඇති බවයි.
නමුත් රට තුළ බලශක්ති අර්බුදයක් ඇති වීම වළක්වා ගැනීමට සැලසුම් කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

Share