ෆෝ ස්ටාර්ස් ඔෆ් ඩෙස්ටිනි මෝදිගේ දේශපාලන පෞරුෂයට දැඩි අභියෝගයක්

ඉන්දියාවේ හිටපු හමුදා ප්‍රධානියෙකු වන ජෙනරාල් එම්.එම්. නාරවානේගේ ෆෝ ස්ටාර්ස් ඔෆ් ඩෙස්ටිනි නම් පොතක අන්තර්ගතය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දේශපාලන පෞරුෂයට දැඩි අභියෝගයක් එල්ල කර තිබෙනවා.
මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැති එම මතක සටහන් පොත තුළ හිටපු හමුදා ප්‍රධානියා ලියා ඇත්තේ, 2020 දී චීනය සමග ලඩාක් නිම්නයේ ඇති වූ හමුදා ගැටුම්වලදී, අගමැතිවරයා පැහැදිලි මඟ පෙන්වීම් ලබා නොදී, සුදුසු දෙයක් කරන ලෙසට උපදෙස් දුන් බවයි.
එමෙන්ම ” චීන හමුදා ඉන්දීය භූමියට ඇතුළු වුවහොත්, ඉහළ නායකත්වයේ අනු දැනුමකින් තොරව ඔවුන්ට වෙඩි නොතැබිය යුතු බවට ස්ථාවර නියෝගයක් ඉන්දීය හමුදාවට දී තිබූ බව ද අදාළ ග්‍රන්ථයේ සඳහන් බවයි පැවසෙන්නේ.
2020 ලඩාක් නිම්නයේ ඇතිවූ දේශසීමා ගැටුමේදී ඉන්දීය සොල්දාදුවන් විසි දෙනෙකු සහ චීන සොල්දාදුවන් සිව් දෙනෙකු මිය ගියා.
මේ අතර ඉන්දීය පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක රාහුල් ගාන්ධි මෙම ග්‍රන්ථය උපුටා දක්වමින් සිදුකල ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තුව කල් තැබීමට ද සිදු වුණා.

Share