හෙළයේ ගීත කෝකිලාවියට සමුදෙන්න දහස් ගණනක්

දිවි ගමනට සමුදුන් හෙළයේ මහා ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලත් කලාශුරි ලතා වල්පොල මහත්මියගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා මේවන විටත් විශාල පිරිසක් ඒ මහත්මිය‍ගේ දේහය තැන්පත් කර තිබෙන බොරැල්ල පෞද්ගලික මල්ශාලාවට පැමිණෙමින් සිටිනවා.
ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා රාජ්‍ය අනුග්‍රහය සහිතව බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.
එදින පෙරවරු දහයේ සිට පස්වරු දෙක දක්වා දේහය කොළඹ නිදහස් චතුරස්‍රයේ තැන්පත් කර තැබීමට නියමිතයි. තමන්ටම ආවේණික සුමදුර වූ කටහඬකින් ගී ගැයූ හෙළයේ මහා ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලත් ලතා වල‍්පොල මහත්මිය දිවියෙන් සමුගන්නා විට 91 වැනි වියෙහි පසුවුණා.
දිවි සැරිය නිම කළ ලතා වල්පොල මහත්මියගේ දේහය මහජන ගෞරව සඳහා ඊයේ පස්වරුවේ බොරැල්ල ප්‍රදෙහයේ පෞද්ගලික ශාලාවක තැන්පත් කෙරුණා.

එතැන් පටන් මේ දක්වාත් හෙළයේ ගීත කෝකිලාවියට අවසන් ගෞරව දැක්වීම සඳහා වැල නොකැඩී ජනතාව පැමිණෙමින් සිටිනවා
ලතා වල්පොල ගායන ශිල්පිනිය සමඟ ගීත ගායනා කළ සමකාලීන ගායක ගායිකාවන් මෙන්ම ඇගෙන් ගුරුහරුකම් ලැබූ නව පරපුරේ බොහෝ පිරිසක් ඒ අතර වුණා. ලතා සමග චිත්‍රපට සිය ගණනකට පෙම් ගී ගැයූ වික්ටර් රත්නායකයන් ද තම ගී ලොව සහකාරියට අවසන් ගෞරව පුද කරන්නට පැමිණ සිටියා.

කලාවට ඇලුම් කරන, ලතා වල්පොළගේ ගීතියට පෙම් බැඳි දේශපාලනඥයින්, රංගන ශිල්පීන් මෙන්ම රසික රසිකාවියන් බොහෝ පිරිසක් ද අවසන් ගෞරව දැක්වීමට මේ වන විටත් පැමි⁣ණෙමින් සිටිනවා. ‍අභාවප්‍රාප්ත ලතා වල්පොල මහත්මියගේ දේහය අද පස්වරු 10 දක්වා සහ හෙට පෙරවරු 10 සිට පස්වරු දහය දක්වාත් බොරැල්ල පෞද්ගලික මල්ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇති.

දිවි ගමනට සමුදුන් කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුගහය සහිතව පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ
ඒ මහත්මියගේ දේහය දෙසැම්බර් මස 31 වැනිදා බදාදා පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා කොළඹ නිදහස් චතුරස්‍රයේදී මහජන ගෞරව සඳහා තැන්පත් කර තැබෙන බවයි.

එදින පස්වරු 2 ට එහිදී ආගමික වතාවත් සිදු කර දේහය බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියට රැගෙන ඒමෙන් අනතුරුව අවසන් කටයුතු සිදු කෙරෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Share