නඩු කටයුතු අවසන් වීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය භාරයේ පැවති හෙරොයින් කිලෝග්‍රෑම් 170 ක ප්‍රමාණයක් අද විනාශ කරනු ලැබුවා.
විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේ එම කටයුතු සිදු කෙරුණේ, වනාතවිල්ලුව ලැක්ටොවත්ත ප්‍රදේශයේ පිහිටි පොලිස් දහන උඳුනේදී.
විෂ මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කිරීම සඳහා ගොඩනගන ලද ‘රටම එකට’ මෙහෙයුම් ක්‍රියාවලියේදී අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය එම අවස්ථාවන් වලදීම විනාශ කළ හැකි පරිදි නව නීති කෙටුම්පතක් සම්පාදනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධිකරණ අමාත්‍යාංශයට මීට පෙර උපදෙස් දී තිබුණා.
එම උපදෙස් අනුව මේ වන විට අදාළ නව නීති කෙටුම්පත සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ පිලිබඳව සාකච්ඡා කෙරුනේ පවතින ගැටලු නිරාකරණය කිරීමේ අපේක්ෂාවෙන්.
ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් විට එම ස්ථානයට මහේස්ත්‍රාත්වරයා කැඳවා පරීක්ෂණයක් පැවැත්වීමටත්, රස පරීක්ෂකවරයා කැඳවා එහි සාම්පලයක් ලබා ගැනීමෙන් පසු එම විෂ මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරිමට හැකි වන පරිදි මෙම නීති සකස් කරන ලෙසයි ජනාධිපතිවරයා පැවසුවේ.
මෙම තත්ත්වය යටතේ නඩු කටයුතු අවසන් වීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය භාරයේ පැවති හෙරොයින් කිලෝ 170 ක ප්‍රමාණයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අද උදෑසන 06 ට පමණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දෙනු ලැබුවා.
පසුව එම මත්ද්‍රව්‍ය තොගය වනාතවිල්ලුව ලැක්ටොවත්තේ පිහිටි පොලිස් දහන උඳුන වෙත ප්‍රවාහනය කිරීම සිදු කෙරුණේ,පොලිස් විශේෂ කාර්ය බලකායේද දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේයි.
අනතුරුව එම මත්ද්‍රව්‍ය තොගය වනාතවිල්ලුව ලැක්ටොවත්තේ පිහිටි පොලිස් දහන උඳුන වෙත රැගෙන ආ අතර ඒවා විනාශ කරනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේදියි.





