කෝටී 184ක පාඩුව ගෙවන්න මාස 3ක්

ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හරහා රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොන්දේසි සහිතව නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා
එම නඩුව යටතේ ම චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් සිව් දෙනකුද නිදහස් කිරීමටත් කොළඹ මහාධිකරණය නියම කළා.
ඒ් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ අද මෙම නඩුව කැදවනු ලැබූ අවස්ථාවේදීයි
මේ අතර අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම නඩුවේ චූදිතයින් නිදොස් කොට නිදහස් කර ඇති බවට පළවන ඇතැම් මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බවයි.

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්අථික අර්බුදයකට ලක්ව ඇති බව දැන දැනම එරට බැඳුම්කර වල රජයේ මුදල් රුපියල් කෝටි 184 කට ප්‍රමාණයක් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු සිව් දෙනෙකුට විරුද්ධව මෙම නඩුව ගොනු කර තිබුණා.
අද නඩුව කැඳ වූ අවසථාවේ, අල්ලස් කොමිසම විත්තිකරුවන් සිව් දෙනාට එරෙහිව ගොනුකර තිබූ චෝදනා පත්‍ර ඉල්ලා අස් කර ගන්නා බව අධිකරණයට දැනුම් දුන්නා.
මෙහිදී අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ හිටපු මහ බැංකු අධිපතිවරයා, ග්‍රීක රජයේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හරහා රජයට පාඩු කළ රුපියල් කෝටි 184ක මුදල දඩ මුදලක් ලෙස අධිකරණයට ගෙවීමේ කොන්දේසියට යටත්ව නඩුවෙන් නිදොස් කොට නිදහස් කර ලෙසයි.
එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ ඩිලාන් රත්නායක මහතා ඊට විරෝධය දැක්වූවා.
ඉන් පසු අල්ලස් කොමිසම ඉල්ලා සිටියේ එසේ නම් පලමු විත්තිකරු අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා දූෂණ විරෝධි පනතේ 67 වන වගන්ති ප්‍රකාරව නඩුවෙන් නිදහස් කරන ලෙසයි.
එසේම සෙසු විත්තිකරුවන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 3 වගන්තිය ප්‍රකාරව නිදහස් කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා පලමු විත්තිකාර හිටපු මහ බැංකු අධිපතිවරයා දූෂණ විරෝධි පනතේ 67වන වගන්ති ප්‍රකාරව කොන්දේසි සහිතව නඩුවෙන් නිදහස් කළා.
එමෙන්ම මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, සහකාර අධිපතිවරුන් වන දොන් වසන්ත ආනන්ද සිල්වා, සහ එම්.ඒ. කරුණාරත්න යන අය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 (3) වගන්තිය ප්‍රකාරව නඩුවෙන් නිදහස් කළා.

මේ අතර අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම නඩුවේ චූදිතයින් නිදොස් කොට නිදහස් කර ඇති බවට පළවන ඇතැම් මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බවයි.
එම කොමිසම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දූෂණ විරෝධී පනතේ 67 (3) වගන්තිය ප්‍රකාරව අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට එරෙහි අධි චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා දින සිට මාස තුනක් ඇතුළත ඔහු විසින් මෙම නඩුවට අයත් රුපියල් 184 කෝටි තිස් දෙලක්ෂ 67,595.65 ක් මුදල දඩයක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුමට බැරකළ යුතු බවයි.
අදාල කාලසීමාව තුළ විත්තිකාර කබ්රාල් මහතා විසින් එම මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් දූෂණ විරෝධී පනතේ 67(5) වගන්තිය යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් අල්ලස් කොමිසම පළ කළ නිවේදනයේ සඳහන් වෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2024 වසරේ දී කොලඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර නඩු පවරා තිබුණා.
එහිදී විත්තිකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ට අධිචෝදනා පත්‍ර භාර දීමකින් තොරවම නිදහස් කිරීමට නියෝග කළේ 2024 මැයි 31 වැනිදායි.
විත්තිකරුවන් එලෙස නිදහස් කරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා අධිචෝදනා පත්‍ර අත්සන් තැබූ දින වකවනු සම්බන්ධයෙන් විත්ති පාර්ශවය ඉදිරිපත් කළ තාක්ෂණික කරුණු මතයි.

පසුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව 2024 අගෝස්තු 21 වැනිදා යළි ගොනු කළා.

Share