සංවිධානාත්මක අපරාධකරුවකුට ගිනි අවියක් ලබාදුන් බවට වන චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඉදිරිපත් කිරිමට නියමිතයි.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි මිනුර සෙනරත් මහතා කියා සිටියේ දේවානන්දාට ආරක්ෂක අමාත්‍යාංශය හරහා නිකුත් කරන ලද පිස්තෝලයක් පසුව සංවිධානාත්මක පාතාල කණ්ඩායම් නායක මාකඳුරේ මධුෂ් සන්තකයේ තිබී සොයාගත් බවට එල්ල වන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කල බවයි.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික භාවිතය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කළ ගිනිඅවියක් පිළිබඳ සිද්ධියකට අදාළව සිදු කරන විමර්ශන වලට අදාලවයි.
හිටපු අමාත්‍යවරයාට නිකුත් කළ ගිනි අවිය 2019 වර්ෂයේ වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් අසල කැලෑබද ස්ථානයක සඟවා තිබියදී සොයා ගැනීමට අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව සමත් වුනා.
ඒ සම්බන්ධයෙන් සිදු කල විමර්ශන වලට අදාලව සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ් ඩුබායි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව සිදු කල ප්‍රශ්න කිරිම් හමුවේ එම ගිනි අවිය සම්බන්ධයෙන් තොරතුරු රුසක් හෙලිකර තිබෙනවා.
ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ එම පිස්තෝලය යුද හමුදාවට අයත් එකක් බවයි.
කෙසේ වෙතත් මාකඳුරේ මධුෂ්, 2020 වසරේ දී කොළඹ දී පොලිස් වෙඩි හුවමාරුවකින් ජිවිතක්ෂයට පත් වුනා.
පසුව ගිනි අවියේ අංක පරීක්ෂාවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ ගිනිඅවිය ඩග්ලස් දේවානන්දා වෙත නීතිමය ලෙස නිකුත් කර තිබූ එකක් බවයි.
මෙම අනාවරණයත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාල ගිනිඅවිය හිටපු අමාත්‍යවරයාගේ සන්තකයෙන් වෙනත් පාර්ශවයකට පත් විම සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදු කර තිබෙනවා.
ඒ අනුවයි මෙම විමර්ශනයන්ට අදාළව මාකඳුරේ මධුෂ් පාර්ශවයේ අපරාධ රුසකට සම්බන්ධ පුද්ගලයකු 25 වන දින අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් පසුවයි හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඊයේ දින අපරාධ පරික්ෂන දෙපාර්ත මේන්තුවට කැඳවා ඇත්තේ.
එහි දී සිදු කල ප්‍රශ්න කිරීම්වලදී, ගිනිඅවිය අස්ථානගත වූ ආකාරය පිළිබඳව පැහැදිලි හා සනාථ කළ හැකි ප්‍රකාශයක් ලබා දීමට හිටපු අමාත්‍යවරයා අපොහොසත් වී තිබෙනවා.
ඒ අනුවයි, අදාළ විමර්ශන කටයුතු වලට අදාලව හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහුට එල්ල කර ඇති චෝදනාව වන්නේ නිත්‍යානුකූලව ලබාදුන් ගිනිඅවියක් අවභාවිත කිරිම සහ අදාල ගිනි අවිය මාකඳුරේ මධූෂ් නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙකු අතට පත් කිරිමයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබනවා.




