ශ්‍රී ලාංකේය සිනමාවේ වේදිකාවේ මෙන්ම ටෙලි නාට්‍යයේ නොමැකෙන මං සලකුණු තැබූ කෘතහස්ථ රංගන ශිල්පිියෙකු වූ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අද පස්වරුවේ දැයට සමුදුන්නා.
දේශපාලනඥයින්, කලාකරුවන්, රසිකයින් ඇතුළු බොහෝ පිරිසක් කෘතහස්ත කලාකරුවාට අවසන් වරට සමුදීමට බොරැල්ල කනත්ත පොදු සුසාන භූමිය වෙත පැමිණ සිටියා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ජීවිතයට සමුදුන්නේ පසුගිය අඟහරුවාදායි.
1941 වසරේ පෙබරවාරි 11 වැනිදා මෙලොව එළිය දුටු සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා 1963 වසරේදී වේදිකා නාට්‍යයයෙන් කලා ලොවට අත්පොත් තැබුවා.
වේදිකාව, රිදී තිරය මෙන්ම පුංචි තිරය ඔස්සේ කලා නිර්මාණයන් රැසක් දැයට දායාද කළ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් කලක් රෝගාතුරව සිට කොළඹ පෞද්ගලික රෝහලකදී පසුගිය අගහරුවාදා ජීවිත ගමනට සමුදෙන විට 84 වැනි වියෙහි පසුවුණා.
ඔහුගේ දේහය පසුගිය බදාදා සිට මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණේ කැලණිය හුංගමුව පිහිටි ඔහුගේ නිවසේයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අද පෙරවරුවෙ සතිශ් චන්ද්‍ර එදිරිසිංහයන්ගේ දේහයට සිය අවසන් ගෞරවය පුද කළා.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද දිවියෙන් සමුගත් අසහාය කලාකරුවාට සිය අවසන් ගෞරවය දැක්වීමට කැලණිය හුංගමුව පිහිටි නිවසට පැමිණියා.
අද පස්වරුවේ නිවසේ දී පැවති ආගමික වතාවත්වලින් අනතුරුව ඒ මහතාගේ දේහය රැගත් රිය පෙරහැර නිවසින් පිටත්වුණා.
දේහය බොරැල්ල කනත්ත සුසාන භූමියට රැගෙන එන විට ඔහුට අවසන් බුහුමන් දැක්වීමට තවත් බොහෝ පිරිසක් එම ස්ථානයේ ද රැස්ව සිටියා.
දශක පහකට අධික කාලයක් ශ්‍රී ලාංකීය කලාවට සුවිශේෂි මෙහෙවරක් කළ අග්‍රන්‍ය කලාශුරයෙකු වන සතිශ් චන්ද්‍ර එදිරිසිංහ මහතා රැස්ව සිටි සියලු දෙනාගේ සෝ සුසුම් මැද දැයෙන් සමුගත්තා.
මෙරට සුවහසක් රසික හදවත් තුළ කිසිදා නොමැකෙන මතකයන් රැසක් ඉතුරු කරමින් දිවි රඟ මඩලට සමුදුන් අසහාය රංගවේදියාණෙනි ඔබට නිවන් සුව.





