සතිශ්චන්ද්‍ර එදිරිසිංහයන් දිවි රඟ මඩලට සමුදෙයි

ශ්‍රී ලාංකේය සිනමාවේ වේදිකාවේ මෙන්ම ටෙලි නාට්‍යයේ නොමැකෙන මං සලකුණු තිබූ කෘතහස්ථ රංගන ශිල්පිියෙකු වූ සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන විට මේ කෘතහස්ත රංගන ශිල්පියා 84 වැනි වියෙහි පසුවුණා.

සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහතා කැලණියේ දී මෙලො‍ව එළිය දුටුවේ 1941 වසරේ පෙබරවාරි 11 වැනිදා යි.
පාසල් වේදිකාවෙන් කලාවට අත්පොත් තැබූ සතිශ් බකතපස් වේදිකා නාට්‍ය සමග 1963 දී නිෂ්පාදන භූමිකාව ආරම්භ කරනවා.
ජෝන් ද සිල්වා, ගුණසේන ගලප්පත්ති, ගයන්ත ගුණවර්ධන, හෙන්රි ජයසේන, සුගතපාල සිල්වා, ආර්.ආර්. සමරකෝන්, සුනන්ද මහේන්ද්‍ර ද මෙල්, රංජිත් ධර්මකීර්ති, ලූෂන් බුලත්සිංහල වැනි වේදිකා නාට්‍ය දැවැන්තයින්ට සතිශ් චන්ද්‍ර එදිරිසිංහයන් යනු නැතුව බැරි චරිතයක් වුණා.
පසුව රිදී තිරයට පිවිසෙන සතිශ්චන්ද්‍ර එදිරිසිංහ කොටි වලිගය, ගුත්තිල, පුංචි අන්දරේ, දොරකඩ මාරාව වැනි චිත්‍රපට රැසක ද රංගයෙන් දායක වුණා.
ඔහු කලා දිවියේ සුවිශේෂි සන්ධිස්ථානයක් වන්නේ තිර රචනය, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කරමින් හෙල සිනමාවට දායා ද කළ මාතර ආච්චි චිත්‍රපටයයි.
පුංචි තිරයේ ටෙලි නාට්‍ය රැසක විවිධ චරිත රැසකින් දායකත්වය ලබාදුන් සතිශ් චන්ද්‍ර එදිරිසිංහ අඹු දරුවෝ, අරවින්ද සහ ඉන්දු, ගව්වෙන් ගව්ව, කඩතිර, පලිගු මැණිකේ ටෙලි නාට්‍ය රැසකට සිය රංගන ප්‍රතිභාවය එක් කළා.
1965 වසරේ ශ්‍රියා කාරියප්පෙරුම කුලකුමරිය සමඟ විවාහ වූ තිදරු පියෙක්.
දශක පහක් පුරා රසික හදවත් ආකර්ෂණය කරගත් ආදරණීය රංගන ශිල්පී සතිශ් චන්ද්‍ර එදිරිසිංහයන්ට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

Share