ශිරන්ති FCID එන්න බැහැ කියයි

විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට අද දින පැමිණීමට නොහැකි බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුම් දී තිබෙනවා. ඇය එලෙස එම කොට්ඨාසය හමුවට අද කැඳවා තිබුණේ,සිරිලිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරු 9.00ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් සිදුකර තිබුණේ පසුගිය සිකුරාදායි. සිරිලිය නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි මෙම කැඳවීම සිදු කර ඇත්තේ. කෙසේවෙතත් පෞද්ගලික හේතුවක් මත අද දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමණීමට නොහැකි බවත් ඒ සඳහා දෙසතියකින් පසු දිනයක් ලබාදෙන ලෙසත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. අදාළ දැනුම් දීම ලිඛිතව නීතීඥයෙකු මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත දැනුම් දී ඇති බවයි එම කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

මේ අතර හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියා. ඒ එම කොට්ඨාසය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුට සිදු කර තිබූ කැඳවීමකට අනුවයි.

Share