ඉන්දියාවේ සිට මෙරටට වැඩමකරවන ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ, පැය 24 පුරාම කොළඹ හුණුපිටිය ශ්‍රී ගංගාරම විහාරස්ථානයේදී වන්දනාකරගැනීමට බැතිමතුන්ට සියලු කටයුතු සුදානම් කර ඇති බව විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් පවසනවා.
ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී. නිශාන්ත ද සොයිසා මහතා සඳහන් කළා.
කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සංවිධානය කර ඇති බවයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවීමට නියමිත ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ පෙබරවාරි 04 සිට 11 දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත් වෙනවා.
ශ්‍රී සර්වඥධාතු වන්දනාව සඳහා කොළඹට ඇදී එන අතිවිශාල ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රදේශයේදී 60 දශකයේදී සිදු කරන ලද කැණීම්වල දී මෙම ධාතූන් වහන්සේ සොයා ගෙන තිබෙනවා.
මීට පෙර කිසිදු අවස්ථාවක මෙම ධාතූන් වහන්සේ ඉන්දියාවෙන් පිටතට වැඩම කරවා නැහැ.
පසුගිය අප්‍රේල් මාසයේ සිදු වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම බුදුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට උදාකර දී තිබෙනවා.
මෙම දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්නා ලෙස රජය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.





