දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෑතකදී ඇති වූ විනාශය නොතකා, ජනතාව විසින් පෙන්නුම් කරන ලද ශක්තිය සහ සහයෝගීතාවය හේතුවෙන් ශ්‍රී ලංකාව වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
අගමැතිවරිය මේ බව පැවසුවේ ඊයේ කොළඹ දී පැවති NASSCOM විධායක කමිටු සහ SLASSCOM සංගම් හමුව අමතමින්.
ඉන්දීය ජාතික මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය හෙවත් NASSCOM විධායක කමිටු සහ ශ්‍රී ලංකා ජාතික මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය හෙවත් SLASSCOM හි හමුවක් ඊයේ සිදුවුනා.
කොළඹ ICT රත්නදීප හෝටලයේ මේ හමුව පැවැත්වුනේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී ඩිජිටල්-ආර්ථික සහයෝගීතාව, ආයෝජන අවස්ථා සහ ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයේ ඉදිරි මාවත සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.
ඉන්දීය ජාතික මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය හෙවත් NASSCOM සමාගම් 3,000 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන එම ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම එකමුතුවයි.
රට තුල ඇතිවූ අයහපත් වාතාවරණය ද නොතකා අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ සිය වාර්ෂික සංචාරයට එක් වූ NASSCOM නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරියගේ පැසසුමට ලක් වුනා.
අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් කියා සිටියේ අපනයන විවිධාංගීකරණය සහ ඩිජිටල් ආර්ථිකය වේගවත් කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා පැමිණි තාක්ෂණික නියෝජිත පිරිසගේ සහයෝග අපේක්ෂා කරන බවයි.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා සහ SLASSCOM සහ NASSCOM හි නියෝජිතයින් සහභාගී වූණා.





