පෙබරවාරි මාසයේ ආරම්භ වන T20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශයේ තරග ඉන්දියාවෙන් පිටත දී පවත්වන ලෙස කල ඉල්ලීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රතික්ෂේප කර ඇතැයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරනවා.
වෙබ් අඩවි වාර්තාවේ සඳහන් ආකාරයට තරග පැවැත්වෙන ස්ථාන වෙනස් නොකරන බව පවසන අයිසීසීය වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ තරග පැවැත්වීමට ආරක්ෂක අවදානමක් මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.
තරග සඳහා සහභාගී නොවන්නේ නම් ප්‍රසාද ලකුණු අඩුවීමේ අවදානම සම්බන්ධයෙන් ද බංග්ලාදේශයට දැනුම් දී ඇතැයි ක්‍රික්ඉන්ෆෝ වාර්තා කරනවා.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත්තේ මේ පිළිබඳ නිල වශයෙන් අයිසීසීය දැනුම් දී නොමැති බවයි.
අයිසීසී ය ද මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.
ආරක්ෂක ගැටලු මතු කරමින් ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කළ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තරග ඉන්දියාවෙන් පිටත ස්ථානයක පැවැත්වීම සලකා බලන ලෙස අයිසීසීයට ඉරිදා ලිඛිතව දැනුම් දුන්නා.
කණ්ඩායම් 20 කින් සමන්විත තරඟාවලිය පෙබරවාරි 7 වැනි දා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් ආරම්භ වනවා.
C කාණ්ඩයේ තරග වදින බංග්ලාදේශය, ඔවුන්ගේ පළමු තරඟ තුන කොල්කටාවේදී ක්‍රීඩා කිරීමට නියමිත අතර මූලික වටයේ ඔවුන්ගේ අවසන් තරගය නේපාලය සමග මුම්බායි හි දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ICC වෙතින් මෙවැනි ඉල්ලීමක් කරනු ලැබුවේ IPL වෙන්දේසියේදී කොල්කටා නයිට් රයිඩර්ස් විසින් ඉන්දීය රුපියල් කෝටි 9.2 කට මිලදී ගත් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසුර් රහ්මාන් ඉවත් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය උපදෙස් දීමත් සමග ඇති වූ මතභේදාත්මක තත්ත්වය තුළයි.





