වසර 15කට ආසන්න කාලයකට පසු ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරග ජයක් ලබන්නට එංගලන්ත කණ්ඩායම අද සමත් වුණා.
ඒ අලු බඳුන තරගාවලියේ සිව්වැනි තරගය ජය ගැනීමත් සමගින්.
මේ තරගයත් දින දෙකක් තුළ නිමා වීම විශේෂත්වයක්.
බොක්සිං ඩේ තරගය නැරඹිමට පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරගයටත් වඩා වැඩි වාර්තාගත ප්‍රෙක්ෂක පිරිසක් පැමිණි සිටියා.
ඒ අනුව දින දෙකේ දි තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් ගණන 186,000කට අධිකයි.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 152කට සීමා කළ එංගලන්තය පළමු ඉනිමේදී රැස් කර ගත්තේ ලකුණු 110ක් පමණයි.
ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 132ක් ලබා ගත් අතර ඒ අනුව එංගලන්තයේ ජයග්‍රාහී ඉලක්කය වූයේ ලකුණු 175ක්.
එංගලන්තය මේ ඓතිහාසික තරග ජය ලැබුවේ කඩුලු හයක් වැය කරමින්.
2011 ජනවාරි 7 වැනිදා ඔස්ට්‍රෙලියාව පරදා ඉනිමකින් සහ ලකුණු 89කින් ජයගැනීමෙන් පසු එංගලන්තය ඔස්ට්‍රේලියාවේදී ලැබූ පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය මෙයයි.
එතැන් පටන් ටෙස්ට් තරග 16ක් එංගලන්තය පරාජය වූ අතර තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.
මෙවර අලු බඳුන තරගාවලියේ දෙවැනි වරටත් තරගයක් දින දෙකක් තුළ අවසන් වූ අතර තරග හතරක් මේ වන විට අවසන් වී ඇත්තේ දින 13ක් තුළයි.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව දැනටමත් තුනට එකක් ලෙස තරගාවලිය ජයගෙන අවසන්.
ටෙස්ට් තරගාවලියක් තුළ දින දෙකකින් අවසන් වූ තරග දෙකක් වාර්තා වන පස්වැනි අවස්ථාව ද මෙයයි.
එමෙන්ම 1932 වසරෙන් පසු ඔස්ට්‍රේලියාවේදී කිසිදු ක්‍රීඩකයෙක් අර්ධ ශතකයක් හෝ වාර්තා නොකළ එකම ටෙස්ට් තරගය ද මෙය වීමත් විශේෂත්වයක්.





