එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක ශූරතා බොක්සිං තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබාගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙකු සමත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමක් ලෝක ශූරතා තරගාවලියක දැක්වූ ඉහළම දක්ෂතාව ලෙසයි මෙය සටහන් වන්නේ.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට, මෙවර ක්‍රීඩකයින් 8 දෙනෙකු තරගාවලිය සදහා සහභාගී වුනා.
ඔවුන් අතරින් පළමු වටයේ තරග ජයගත් ක්‍රීඩකයින් පස් දෙනකු තරගාවලියේ සුපිරි 16දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙනවා.
ඒ කිලෝග්‍රෑම් 48,54,57,71 සහ 75 යන බර පන්ති වලින්.
මෙවර තරගාවලිය සඳහා රටවල් 150කින් එක්ව සිටින ක්‍රීඩකයින් සංඛ්‍යාව 600කට ආසන්නයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ, 48 බර පන්තියෙන් ඩැනියෙල් තිසරආරච්චි, 54 බර පන්තියෙන් රවිදු කුමාර, 57 බර පන්තියෙන් පී.ඒ.ආර් ප්‍රසන්න,71 බර පන්තියෙන් උදාර රූපස්සර සහ 75 බර පන්තියෙන් මොහොමඩ් උසයිත්.
මෙම තරගාවලිය එළැඹෙන 13වැනිදා දක්වා පැවැත්වෙනවා.





