ලොව ඇතැම් රටවල් 2025 වසරට සමු දී 2026 නව වසර පිළිගනී

රෝම ලන්දේසි කැලැන්ඩරයට අනුව වසරක් ගෙවී තවත් වසරක් උදාවීමට අපට තවත් ඉතිරිව ඇත්තේ හෝරා කිහිපයක් පමණයි.
නමුත් ලොව ඇතැම් රටවල් මේ වන විටත් 2025 වසරට සමු දී 2026 නව වසර පිළිගෙන අවසන්. 2026 වසරේ පළමු හිරු කිරණ සුපුරුදු පරිදිම දැක ගත්තේ ලොව නැගෙනහිර කෙළවරේ පැසිෆික් දූපත් වාසීන්.
ඒ අනුව පළමුව 2026 නව වසර පිළිගත්තේ ලොව නැගෙනහිර කළවර පිහිටි කිරිබතී දූපත් රාජ්‍යයයි.

ඉන් ටික වේලාවකට පසු නව වසරේ හිරු කිරණ පතිත වූ නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි Sky Tower සුපුරුදු ලෙසම නව වසර සිපගත්තේ නැගෙනහිර අහස වර්ණවත් කළ දැවැන්ත ගිණිකෙළි සංදර්ශන මාලාවක් සමඟින්. 2026 නව වසර ඔස්ට්‍රේලියානුවේ සිඩ්නි නුවරදී ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පිළිගනු ලබන්නේ සිඩ්නි වරාය පාලම මතින් ගුවන සිප ගත්ොත් විචිත්‍රවත් ගිණිකෙළි සංදර්ශනයකින් අවට ප්‍රදේශය ඒකාලෝක කරමින්.
නව වසර උදාවේ ලොව වඩාත් ආකර්ෂණීය මෙන්ම දැවැන්තම සැමරුම ලෙස සැලකෙන සිඩ්නි ගිණිකෙළි සංදර්ශනය නැරඹීම සඳහා මෙවර මිලියනයකට අධික ජනතාවක් පැමිණ සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් නව අවුරුදු උදාව සැමරීමේ විචිත්‍රවත් වැඩසටහන් රැසක් අද මධ්‍යම රාත්‍රියේ මෙරට දීත් සංවිධාන කර තිබෙනවා.
ගාලු මුවදොර, කොළඹ වරාය නගරය සහ නෙලුම් කුලුණ අවට දැනටමත් බොහෝ පිරිසක් එක් රොක්ව සිටින්නේ උදා වන නව වසර පිලිගැනීමේ සැමරුම් නැරඹීම සඳහායි.

ඒ අනුව කොළඹ කොටුව අවට සහ ගාලු මුවදොර රථවාහන තදබදය අවම කර ගැනීම සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය විසින් විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව ගාලු මුවදොර ඉදිරිපස මාර්ගයේ රථ වාහන ධාවනය එක් පසෙකට පමණක් සීමා කර ඇති අතර එම මාර්ගයේ වාහන ධාවනය කළ හැකි වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පමණයි.
කොළඹින් පිටවීම සඳහා එන්.එස්.ඒ. වටරවුම, ගාලු මැද පාර, අලියා නාන වටරවුම, මාකන් මාකර් මාවත, ගාලු මුවදොර වටරවුම ඔස්සේ කොල්ලුපිටිය දෙසට ගමන් කළ හැකියි.
කෙසේ වෙතත් ගාලු මුවදොර වටරවුමේ සිට කොළඹට ඇතුළු වන රථවාහනවලට මාකන් මාකර් මාවත ඔස්සේ අලියා නාන වටරවුම දෙසට හෝ අලියා නාන වටරවුම දෙස සිට බාලක්ෂ මාවත ඔස්සේ ගාලු මැද පාරට ගමන් කළ නොහැකියි.
එමෙන්ම කොළඹට පැමිණෙන රථවාහන 6000කට පමණ රථගාල් පහසුකම් සලසා ඇති බවයි පොලීසිය පවසන්නේ.

Share