ලබන වසරේ වෙසක් පොහෝ දිනය සංශෝධනය කරන ලෙස ඉල්ලීමක්

ලබන වසරේ වෙසක් පොහෝ දිනය සංශෝධනය කරන ලෙස ඉල්ලා ත්‍රෛනිකායික මහ නා හිමිවරුන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ 2026 නිල දින දර්ශනයට අනුව වෙසෙක් පොහෝ දිනය යෙදී තිබෙන්නේ මැයි මස පළමුවැනිදායි.
නමුත් එදිනට විසා නැකත නොයෙදීම හේතුවෙන් මැයි 30 වැනිදා වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සුදුසු බව මහනාහිමිවරු සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නා හිමියන්, අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නා හිමියන්, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහ නා හිමියන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නා හිමියන්ගේ අත්සනින් යුතුව ඒකාබද්ධ ඉල්ලීමක් ලෙස 2026 වසරේ වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය සම්බන්ධයෙන් ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබෙනවා.
අදාළ ලිපිය මගින් මහ නා හිමිවරු සඳහන් කර ඇත්තේ,2026 වසරේ මැයි මස පළමු වැනිදා සහ 30 යන දෙදින පසළොස්වක පොහෝ දින දෙකක් යෙදී ඇති බවත්,දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයෙහි ලබන වසරේ මැයි මාසයේ 01 වැනි දින වෙසක් පුන් පොහොය දිනය ලෙසත් එළැඹෙන 30 වැනි දින අධි පොසොන් පුර පසළොස්වක පොහොය ලෙසත් දක්වා ඇති බවයි.
නමුත් මැයි මස 01 වැනි දිනට,විසා නැකත නොයෙදීම හේතුවෙන් එම දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි සංවාදයක් නිර්මාණය වී ඇති බවත් මෙම ලිපියේ සඳහන්.
මහ නා හිමිවරුන් ජනපතිට යොමුකළ ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාවන් සහ නැකත්කරුවන්ගේද අදහස් විමසා, චිරාගත ශාසන සම්ප්‍රදායානුකූලව, විසා නැකත යෙදෙන එළැඹෙන මැයි 30 වැනිදා වෙසක් පොහෝ දිනය ලෙස යොදා ගැනීමට තීරණය කළ බවයි.
ඒ අනුව එළැඹෙන වසරේ මැයි 30 වැනිදා වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සුදුසු බවත් ,වෙසක් පොහෝ දිනය හා සබැඳි චිරාගත ශාසනික මෙන්ම ආගමික කර්තව්‍යන් හා රාජ්‍ය උත්සව මැයි මස 30 වැනි දින යොදා ගැනීමට අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලෙසත් මහානායක ස්වාමින්වහන්සේ සිය ලිපිය මගින් දන්වා තිබෙනවා.

Share