රුසියානු ‌‌බොරතෙල් මිල දී ගැනීම අඩු කිරීම නිසා ඉන්දියාවට පනවා ඇති සියයට 25ක අතිරේක තීරු ඉවත් කිරීමට පියවර

රුසියානු ‌‌බොරතෙල් මිල දී ගැනීම කැපී පෙනන ලෙස අඩු කර තිබීම හේතුවෙන් ඉන්දියාවට පනවා ඇති සියයට 25ක අතිරේක තීරු බදු ඉවත් කිරීමට හැකි වනු ඇතැයි ඇමරිකානු මුදල් ලේකම් ස්කොට් බෙස්සෙන්ට් සඳහන් කර තිබෙනවා.
ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම් සීමා නොකළහොත් තීරුබදු තවදුරටත් වැඩි විය හැකි බවට ට්‍රම්ප් අනතුරු අඟවා තිබූ පසුබිමක ඩාවෝස් හිදී පොලිටිකෝ සමග සම්මුඛ සාකච්ඡාවක ට එක්වෙමින් බෙස්සෙන්ට් නව පියවර ඉඟි කළා.
දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ රුසියානු තෙල් ආනයනය වසර දෙකකින් අවම මට්ටමට පහත වැටුණා.
ඒ අනුව, ඉන්දියාවේ විශාලතම ඉන්ධන සමාගම වන ඉන්දියන් ඔයිල් කෝපරේෂන් විසින්, රුසියානු බොර තෙල් වෙනුවට ඇන්ගෝලා, බ්‍රසීලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් තෙල් බැරල් මිලියන 7ක් මිලදී ගෙන ඇති බවට වාර්තා වනවා.
මේ අතර, ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර දීර්ඝ කාලයක් පැවති සාකච්ඡා අවසන් කරමින් නිදහස් වෙළඳ ගිවිසුම ලබන අඟහරුවාදා ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි සඳහන්.
මෙම ගිවිසුම සඳහා, යුරෝපා පාර්ලිමේන්තුවේ අවසරය ලබාගත් පසු, ඉන්දියාවේ ඉලෙක්ට්‍රෝනික උපකරණ, රෙදි පිලි හා රසායනික ද්‍රව්‍ය සදහා යුරෝපයේ පුළුල් වෙළඳපොලක් නිර්මාණය කෙරෙනු ඇති.
නව වෙළඳ ගිවිසුම යටතේ යුරෝපීය මෝටර් රථ හා වයින් සදහා තීරු බදු කප්පාදු කිරිමටත් පියවර ගෙන තිබෙනවා.
ඉන්දීය-යුරෝපා සංගම් සමුළුවේ සම සභාපතීත්වය දරණ යුරෝපා කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්ටා සහ යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන්ඩර් ලේන් මේ වන විටත් නවදිල්ලියට පැමිණ ඇති අතර ඔවුන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
ඔවුන් දෙදෙනා හෙට පැවැත්වෙන ජනරජ දින සැමරුමේ ප්‍රධාන ආරාධිතයින් ද වනවා.

Share