හිටපු කථානායක සහ ජාතික ජනබලවේගයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පැදවූ ජීප් රථය, මෝටර් රථයක ගැටී තුන්දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැණුනා.
එහිදී අද දිනයේත් අශෝක රන්වල මහතාගේ මූත්‍රා හා ලේ සාම්පල පරික්ෂාව ඇතුළත් වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් නොකිරීම විශේෂත්වයක්.
හිටපු කථානායක සහ ජාතික ජනබලවේගයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ නඩුව අද මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණා.
එහිදී නීතිඥා අකලංක උක්වත්ත මහතා අශෝක රන්වල මහතා වෙනුවෙන් පෙනී සිටියා.
කෙසේ වෙතත් අද දිනයේත් අශෝක රන්වල මහතාගේ මූත්‍රා හා ලේ සාම්පල පරික්ෂාව ඇතුළත් වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කෙරුණු නැහැ.
සිදුවීමට අදාළ වෛද්‍ය වාර්තාව මේ වන විට රජයේ රසපරීක්ෂකවරයාට යොමුකර ඇති බවත් එහි ප්‍රතිපල තවමත් ලැබී නොමැති බවත් පොලීසිය අධිකරණය වෙත දැනුම් දුන්නා.
මෙහිදී වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දැන්වූයේ සිදුවීමෙන් තුවාළ ලබා පාදයකට හානිවී සිටින කාන්තාවට රුපියල් 50,000 ක මුදලක් සහ තුවල ලැබූ බිළිදාට සහ ඔහුගේ මවට රුපියල් 25,000 බැගින් මුල් අවස්ථාවේ ලබාදීමට කටයුතු කළ හැකි බවයි.
එහිදී නඩු කටයුත්ත තවමත් විභාග වන බැවින් වන්දි මුදලක් සම්බන්ධ වන තීරණයක් ගැනීමට නොහැකි වුවද මෙම සහනදායී මුදල ලබාගැනීමට පැමිණිලිකාර පාර්ශවය කැමැත්තක් දක්වන්නේ නම් අධිකරණය එම කටයුත්තට මැදිහත් නොවන බව මහර මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පවසා සිටියා.
එහිදී පාදයකට දැඩි හානි සිදුව ඇති කාන්තාවගේ සැමියා අධිකරණයට දැන්වූයේ තමන් එම මුදල ලබා ගැනීමට සූදානමක් නොමැති බවයි.
මේ අතර අශෝක රන්වල මහතා තවමත් රෝහල් ගතව සිටීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා පොලීසියෙන් විමසා සිටියේ සිදුවීමෙන් තුවාල ලැබූවේ පැමිණිලිකාර පාර්ශවයද නැතහොත් විත්තිකාර පාර්ශවයද යන්නයි.
එහිදී පිළිතුරු දුන් සපුගස්කන්ද පොලිස් නිලධාරීන් කියා සිටියේ මෝටර් රථයේ ගමන්ගත් පැමිණිලිකාර පාර්ශවයේ පිරිස තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
මහේස්ත්‍රාත්වරයා එහි දී යළිත් විමසා සිටියේ එසේ නම් සැකකරු තුවාල නොලබාත් තවමත් රෝහල් ගතව සිටින්නේ ඇයිද යන්නයි.
එහිදී විත්තාකාර පාර්ශවයේ නීතිඥවරයා පවසා සිටියේ අශෝක රංවල මහතාගේ ශාරීරික යෝග්‍යතාවය තවමත් යහපත් තත්ත්වයේ නොමැති බැවින් ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.
කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අශෝක රංවල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අවලංගු කිරීමට නියෝග කළා.
මීට අමතරව ඔහු රෝහලෙන් පැමිණි පසුව ජාතික ප්‍රවාහන වෛද්‍යායතනයේ යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගී වී එහි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද නියෝග කරනු ලැබූවා.
මෙම නඩුව යළිත් 2026 වසරේ ජනවාරි 16 වැනිදා කැඳවීමට නියමිතයි.





