යේමනයට හදිසි තත්ත්වයක්, අරාබි ආරක්ෂක ගිවිසුම අවලංගුයි

යේමනයේ නායකත්ව කවුන්සිලයේ ප්‍රධානී රෂාඩ් අල්-අලිමි විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවති ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව යේමන භූමියේ සිටින සියලුම එක්සත් අරාබි එමීර් හමුදා පැය 24ක් ඇතුළත වහාම පිටව යා යුතු අතර රටේ සියලුම වරායන්, දේශසීමා හරහා ගුවන් ගොඩබිම් සහ මුහුදු ගමන් ද පැය 72ක් සඳහා සම්පූර්ණයෙන් තහනම් කර ඇති බවත් එම නියෝගයේ සඳහන්.
එමෙන්ම අද සිට දින 90ක කාලයක් සඳහා යේමනයට හදිසි නීති තත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
යේමන නායකත්ව කවුන්සිලයේ ප්‍රධානියාගේ මෙම දැඩි තීරණයට හේතුවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් යේමනයේ දකුණුදිග ප්‍රදේශයේ ක්‍රියාත්මක වන Southern Transitional Council හමුදාවන් වෙත අවි ආයුධ නැව්ගත කිරීමයි.
මේ අතර සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා වරායේ සිට නිසි අවසරයකින් තොරව යේමනයේ මුකල්ලා වරායට ඇතුළු වී තිබූ නැව් දෙකකට ගුවන් ප්‍රහාර එල්ල කළා.
කෙසේ වෙතත් මෙම තත්ත්වය රටවල් දෙක අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දැඩි අර්බුදයකට ලක් කර ඇති බව‍යි මූලාශ්‍ර පෙන්වා දෙන්නේ.

Share