මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ නඩුවේ විත්තිකරුවකු ලෙස නම්කර සිටින හමුදා බුද්ධි නිලධාරී ලුතිතන් කර්නල් එරන්ත රදීෂ් පීරිස්, කර්නල් තනතුර දක්වා උසස් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය සිය විරෝධය සහ කනස්සල්ල පළ කරනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය අවධාරණය කරන්නේ එක්නැලිගොඩ නඩුව කඩිනම් කර යුක්තිය ඉටු කරන බවට ලබා දුන් ප්රතිඥාවන් පිළිබඳ තමන් තැබූ විශ්වාසය මෙවැනි තීරණ හරහා බිඳ වැටෙන බවයි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ නඩුවේ තෙවැනි විත්තිකරු ලෙස නම්කර සිටින හමුදා බුද්ධි නිලධාරී ලෙප්ටින්නට් කර්නල් එරන්ත රදීෂ් පීරිස් නැමැත්තා, ආරක්ෂක අමාත්‍යාංශය මගින් පසුගිය ජනවාරි 06 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි හමුදා සේවයේ කර්නල් තනතුර දක්වා උසස් කර ඇතැයි මාධ්‍ය වාර්තා කළා.
2010 වසරේ සිදු වූ බව කියන එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට වසර 16ක් ගතවී ඇති අතර, අපරාධකරුවන්ට දඬුවම් පමුණුවන බවට ප්‍රතිඥා දී බලයට පැමිණි ආණ්ඩු, තවමත් ඒ සඳහා ප්‍රමාණවත් පියවර නොගැනීම සහ සහය ලබා නොදීම සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන නිරන්තරයෙන් චෝදනා කරනවා.
2015 බලයට පැමිණි යහපාලන රජය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන දියත් කළ අතර, එම විමර්ශන ඔස්සේ, 2019 වසරේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට සම්බන්ධ හමුදා නිලධාරීන් සහ හමුදා බුද්ධි නිලධාරීන් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ චෝදනා ගොනු කරනු ලැබුවා.
පසුගිය දා ආරක්ෂක අමාත්‍යාංශය විසින් හමුදා බුද්ධි නිලධාරී ලුතිතන් කර්නල් එරන්ත රදීෂ් පීරිස් නැමැත්තා හමුදා සේවයේ කර්නල් තනතුර දක්වා උසස් කර තිබුණේ ඔහු ඇතුළු විත්තිකරුවන්, ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගැනීමට, මරා දැමීමට කුමන්ත්‍රණය කිරීමට සහ මරා, අතුරුදහන් කිරීමට සෘජුවම වගකිවයුතු බවට චෝදනා කරමින් පවරන ලද නඩුව විවිධ ප්‍රමාදයන්ට මුහුණදෙමින්, විභාගවෙමින් පවතින අතරතුරයි.
මේ සම්බනධයෙන් විරෝධය පළ කරමින් සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් අවධාරණය කරන්නේ, බරපතල අපරාධ නඩුවක චූදිතෙයකු ලෙස අධිකරණය හමුවේ පෙනී සිටින නිලධාරියකුට රාජ්‍ය ගෞරව සහිත උසස්වීම් ලබාදීම නීතියේ ආධිපත්‍යට සහ යහපත් පූර්වාදර්ශයන්ට පටහැනි බව තම විශ්වාසය බවයි.
මෙවැනි බරපතල අපරාධ චෝදනා ලැබූ අයෙකුට උසස් නිලතල ප්රදානය කිරීම මගින්, නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමටත්, විමර්ශන නිලධාරීන් සහ අධිකරණ ක්‍රියාවලිය අධෛර්යමත් වීමටත් විශාල ඉඩකඩක් පවතින බව ද ඇය සිය ලිපියෙන් අවධාරණය කරනවා.
මෙම කරුණු කෙරෙහි කඩිනම් අවධානය යොමු කර, අදාළ නිලධාරියාගේ උසස්වීම වහාම අත්හිටුවීමට හෝ දැනටමත් ලබා දී ඇත්නම් එය අවලංගු කිරීමට පියවර ගන්නා ලෙසයි සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ජනාධිපතිවරයාට යොමුකළ ලිපියෙන් ඉල්ලා ඇත්තේ





