උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් සංවිධාන කෙරෙන යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය 16 වැනි වරටත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා.
සීමාසහිත ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා පුද්ගලික සමාගම, යාල්පානම් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය එක්ව සංවිධාන කෙරෙන යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹදී පැවැත්වුණා.
උතුරු පළාතේ ආර්ථික වර්ධනයට සෘජු වේදිකාවක් උදා කරගැනීම මූලික අරමුණ කරගත් මෙම ප්‍රදර්ශනය තුළින් ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කිරීම, නව ආයෝජන අවස්ථා සඳහා මාර්ග විවෘත කරගැනීම, නව තාක්ෂණය පදනම් කරගත් නවෝත්පාදන දියුණු කිරීම ආදිය මෙහි තවත් අරමුණු වනවා.
විවිධ ක්ෂේත්‍රවල නිෂ්පාදනවලින් මෙන්ම සේවා හා උසස් තාක්ෂණ පරාසයකින් සමන්විත වෙළෙඳ කුටි 400කට අධි ප්‍රමාණයක් එහි විවෘත කර තැබෙන අතරම පුළුල් ලෙස ව්‍යාප්ත වූ කළාපීය ආර්ථිකයක් වෙත ප්‍රවේශවීමට බලාපොරාත්තුවන නිෂ්පාදකයින්ට, සේවා සපයන්නන්ට මෙන්ම නවෝත්පාදකයින්ටද එය මහඟු අවස්ථාවක් වනු ඇති.
එමෙන්ම මෙම ප්‍රදර්ශනයේදී ව්‍යාපාරික සංවාද සඳහා පහසුකම් සැපයෙන අතර එතුළින් නව හවුල් ව්‍යාපාර, බෙදාහැරීමේ ගිවිසුම් සහ ආයෝජන අවස්ථා උදා කර ගැනීමටද හැකියාව පවතිනවා.
යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය ජනවාරි මාසයේ 23 වැනිදා සිට 25වැනිදා දක්වා පැවැත්වෙනවා.





