යළි ඇරඹෙන නැවතුණු කඩඉම

දිට්වා සුලි කුණාටුවත් සමග ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයන් 10ක විභාගය හෙට යළි ආරම්භ වනවා.
ලබන 20 වන දින දක්වා විභාගය පැවැත්වෙන අතරතුර ඇතිවන ඔ්නෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය වසරේ නොවැම්බර් මස 6 වැනිදා ආරම්භ වූ අතර එය දෙසැම්බර් මස 05 වැනි දා අවසන් වීමට නියමිතව තිබුණා.
නමුත් දිවයිනට බලපෑ දිට්වා සුලි කුණාටුව හේතුවෙන් නොවැම්බර් 27 වැනිදා විභාගය අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කළා.
ඒ අනුව කල් දැමූ විෂයන් 10කට අදාළ විභාගය හෙට සිට ලබන 20 වැනිදා දක්වා මධ්‍යස්ථාන 2086 කදී පැවැත්වෙනවා.

විභාගයට අදාළ සංශෝධිත කාලසටහනක් රෝස පාට පසුබිමක මුද්‍රණය කර නිකුත් කෙරේ.
පෙර කාලසටහනේ පැවති විභාග කටයුතු පැවැත්වෙන වේලාවන් සංශෝධිත කාලසටහන තුළ ද නොවෙනස්ව පවතී
විභාග අපේක්ෂකයන් ජාතික හැඳුනුම්පත, රියැදුරු බලපත්‍රය හෝ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතුයි
අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කළ නොහැකි පාසල් අපේක්ෂකයන් ඡායාරූපයක් විදුහල්පතිවරයා ලවා සහතික කර ගත යුතුයි
පෞද්ගලික අපේක්ෂකයන් ප්‍රාදේශීය ලේකම්වරයා ලවා සහතික කර ගත යුතුයි
දිට්වා සුළි කුණාටු තත්ත්වය නිසා නිල ඇඳුම් අහිමි වූ පාසල් අපේක්ෂකයින්ට පහසු ඇඳුමකින් විභාගයට පෙනි සිටිය හැකියි.

මේ අතර දෙසැම්බර් 06 වැනිදා පැවැත්වීමට නියමිතව තිබු අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 12 ශ්‍රේණියේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය අද පැවැත් වුණා.
සිසුන් එක් ලක්ෂ අනූඅටදහස් තුන්සිය තුන් දෙනෙකු විභාග මධ්‍යස්ථාන 1665 ක දී ඒ සඳහා පෙනී සිටියා.

Share