මොරවක ජාතික පාසලේ ගුරුවරයෙකු අත්අඩංගුවට

මාතර – දෙණියාය අධ්‍යාපන කලාපයේ මොරවක ජාතික පාසලේ ගුරුවරයෙකු 8 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුරුවරයා සිදුකළ පහරදිමෙන් පසු අදාළ සිසුවා මේ වනවිට මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. මාතර දෙණියාය අධ්‍යාපන කලාපයේ මොරවක ජාතික පාසලේ චිත්‍ර විෂය භාර ගුරුවරයා විසින් පසුගිය 18 වැනිදා ගිනිසීරියා ලීයක් කඩා පහරදී හිංසනයට ලක් කර ඇත්තේ 8 වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවෙකුයි
පාසලේ සිසුවියන් හුනු කූරු වලින් සෙල්ලම් කරමින් සිටියදී එක් ළමයකුගේ ඔළුවට හුනු කූරක් වැදී එම සිසුවිය අසභ්‍ය වචනයක් කීමෙන් පසු අසල භෝජනාගාරයේ සිටි ගුරුවරයාට එය ඇසී එම ස්ථානයට පැමිණ අදාළ සිසුවාට පහරදී තිබෙනවා.
අදාළ ගුරුවරයා විසින් අදාළ සිසුවාව බිම දණ ගස්වා ඔහුගේ පිටුපස ප්‍රදේශයට ගිනිසීරියා ලීයෙන් වාර 10ක් පමණ පහරදී ඇති අතර ඒ හේතුවෙන් සිසුවාගේ පිටුපස ප්‍රදේශයට තුවාල වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සිසුවා තම දෙමාපියන් දැනුවත් කර ඇති අතර පසුව ඔහු මොරවක මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහරෝහලට මාරු කර යවා තිබෙනවා. අදාල සිද්ධිය සම්බන්ධ ගුරුවරයා පොලිසිය විසින් ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම පහරදීම සම්බන්ධයෙන් දෙණියාය අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් වාර්තාවක් කැඳවීමට සහකාර අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ නොවී සිද්ධිය සමතයකට පත්කර ගැනීමට සාකච්ඡා කෙරෙන බවයි මොරවක පොලිසිය ටීවී සුප්‍රීම් කළ විමසීමකදී පැවසුවේ.

Share