බෙන්තොට මොරගොල්ල වෙරල තීරයේ වසර ගණනක සිට සිදුවන වෙරල ඛාදනය හේතුවෙන් එහි සංචාරක රන් සැතපුම වෙරල කලාපයට දැඩි ලෙස හානි වී තිබෙනවා
මේ වන විට වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා මෙම වෙරළ තීරය ආසන්නයේ ඉදිකර තිබූ ආරක්ෂිත බැම්මද කැඩී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් මෙම වෙරළ තීරය භාවිත කරන දේශීය සහ විදේශීය සංචාරකයින් ද දැඩි අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබෙනවා.
යුරෝපා රටවලින් බේරුවල සංචාරක පුරවරයට පැමිණෙන සංචාරකයන් අතර රන්සැතපුම වෙරළතීරය නමින් ප්‍රචලිත බේරුවල මෙම සංචාරක කලාපයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්
එම වෙරළ තීරයේ ඇති සුන්දරත්වය සහ එම වෙරළ තීරයට යාබදව පිහිටි සංචාරක නිකේතනවලින් ලැබෙන ආගන්තුක සත්කාර නිසා මෙම ප්‍රදේශයට විදෙස් සංචාරකයින් විශාල වශයෙන් පැමිනීමට පුරුදු වී තිබෙනවා.
නමුත් මේ වන විට රන් සැතපුම වෙරල තීරය ආරම්භ වන ස්ථානයේ සිට කිලෝමීටර් එකහමාරක පමණ දුරකට බරපතළ වෙරළ ඛාදනයක් සිදුවී ඇති බැවින් එම ස්ථානයෙන් ගමන් කිරීම පවා බරපතළ ජීවිත අවධානමක් ඇති කරන තත්ත්වයක් මතු කර තිබෙනවා
මෙම සංචාරක සමයේ විවේකය ගත කිරීමට පැමිණි සංචාරක හෝටල් රැසක දෙස් විදෙස් සංචාරකයන්ට මුහුදු වෙරළේ පහස විඳීමට නොහැකි වීම හේතුවෙන් දැඩි කනස්සල්ලකින් පසුවන බවයි වාර්තා වන්නේ
වෙරළ ආශ්‍රිතව පිහිටා ඇති ඇතැම් හෝටල් මේ තත්වයෙන් සෑම සංචාරක සමයකම බරපතළ ගැටලුවකට මුහුණ දෙනවා
සිය හෝටල් ඉදිරිපිට වෙරළ තීරය ඛාදනයට ලක්වන සෑම අවස්ථාවකම හෝටල් සේවක මණ්ඩල මඟින් තාවකාලික වැලිකොට්ට ඇතිරීම සිදුකළත්, ඇතැම් ආයතනවලින් ඊට ද බාධා එල්ල වන බවයි වාර්ථා වන්නේ.
සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයින් පෙන්වා දෙන්නේ ඇති වී ඇති තත්ත්වය මත විදෙස් සංචාරකයකුට යම් අනතුරක් සිදු වුවහොත් එය මෙරට සංචාරක කර්මාන්තයට බරපතළ ලෙස බලපෑමට ඉඩ ඇති බවයි.
එබැවින් මේ තත්ත්වය සම්බන්ධයෙන් රජයේ අවධානය වහා යොමු කර ඊට කඩිනමින් ස්ථිර විසඳුමක් ලබාදීම හරහා මෙරටට ඩොලර් ගෙන එන සංචාරක කර්මාන්තයට ද ඉමහත් පිටුවහලක් වන බවයි ඔවුන් පවසන්නේ.





