නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑමෙන් දිවයිනේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත්වලට මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ටවැඩි තද වැසි ඇති විය හැකි බව අද දිනය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකියේ සඳහන්.
මේ අතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධයම පළාත්වල, අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකි අතර, නැගෙනහිර, ඌව, සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා.
පවතින වර්ෂාපතනයත් සමඟ වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ යළි වාන් දැමීම ආරම්භ වි තිබෙනවා
නිවේදනයක් නිකුත් කරමින් මහවැලි අධිකාරිය දැනුම් දෙන්නේ මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඒ අවට පහත්බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සහ විමසිලිමත්ව සිටින ලෙසයි.
එමෙන්ම කලාවැව ද්‍රෝණියට අයත් කලාවැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති බවත් බෝවතැන්න ඉබ්බන්කටුව , මොරගහකන්ද හා කළු ගඟ යන ජලාශවල ජල මට්ටම උපරිම මට්ටමේ පවතින බව ද මහවැලි අධිකාරිය පවසනවා.
එසේම උපරිම ජල මට්ටම ඇති බැවින් මාදුරුඔය ජලාශයද ඉදිරියේදී වාන් දැමිය හැකි බව මහවැලි අධිකාරිය සඳහන් කළා. මීට අමතරව දිවයිනේ තවත් ජලාශ කිහිපයකද මේ වන විට වාන් දොරටු විවෘත කර තිබෙනවා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවිය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
ඊයේ දිනයේ සිට ඇද හැලෙන වර්ෂාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට අදියර 3 යටතේ රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා.
එලෙස රතු නිවේදන නිකුත් කෙරුණේ මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, දොලුව උඩු දුම්බර හා මිනිපේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත, නිල්දණ්ඩාහින්න, වලපනේ සහ මතුරට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි.





