මධ්‍යම කඳුකරයට තද වැසි

මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවලට ඉතා තද වැසි ඇද හැලෙන බැවින් නායයෑමේ මූලික ලක්ෂණ පෙන්නුම් කර ඇති ස්ථානවල පදිංචි ජනතාව ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.
අද පෙරවරුවේ අවසන් වූ පැය විසිහතරක මහනුවර උඩුදුම්බර ප්‍රදේශයට මිලිමීටර් 200ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී තිබුණා.
මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ අතුලු ප්‍රධාන ජලාශ රැසක වාන් දොරටු යළි විවෘත කර තිබෙනවා.

අද පෙවරු 8න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයේ නවකිරිආරු ප්‍රදේශයෙන්.
මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට ද තද වැසි ලැබී තිබුණා.

පවතින වර්ෂාවත් සමඟ මේ වන විට ජලාශ රැසක් වාන් දැමිමට පටන් ගෙන තිබෙනවා.
ඒ අනුව වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර, රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශවල වාන් දොරටු දෙක බැගින් විවෘත කර ති‍බෙනවා.

අධික වර්ෂාව හේතුවෙන් ගිරාදුරු කෝට්ටේ උල්හිටිය රත්කිද නිවුන් ජලාශයෙන් වාන් දොරටු හතම අද අලුයම විවෘත කළා.
එමඟින් තත්පරයට ඝන මීටර් 223ක් උල්හිටිය ඔයට මුදා හැරෙනවා.
මේ හේතුවෙන් රත්හිඳ රොබරියාව මාර්ගයේ උල්හිටිය ඔය හරහා ඇති පාලම හා මාර්ගය ජලයෙන් යට වීමෙන් රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වුණා. එමෙන්ම කලාවැව ද්‍රෝණියට අයත් කලාවැව හා කණ්ඩලම ඇතුලු වැව් හා ජලාශ කිහිපයක් දැනටමත් වාන් දමමින් තිබෙනවා. මේ අතර බෝවතැන්න ඉබ්බන්කටුව , මාදුරුඔය, මොරගහකන්ද හා කළු ගඟ යන ජලාශවල ජල මට්ටම උපරිම මට්ටමේ පවතින බව ද මහවැලි අධිකාරිය පැවසුවා.

මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෝමාවතිය පුදබිම දක්වා ගමන් කරන මාර්ගය නැවත දැනුම් දෙන තුරු රථවාහන ගමනාගමනය සඳහා වසා දැමූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

අධික වර්ෂාවත් සමග මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට අදියර 3 යටතේ රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා.
එලෙස රතු නිවේදන නිකුත් කෙරුණේ මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, දොලුව උඩු දුම්බර හා මිනිපේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත, නිල්දණ්ඩාහින්න, වලපනේ සහ මතුරට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි.

පසුගියදා දැඩි ආපදාවට ලක්වූ ලුණුගල මැටිගහතැන්න,ඇකිරිය,අටකිරිය ගම්මානවලට ඊයේ සිට අඛණ්ඩ වර්ෂාව ඇද හැලෙන බව අප වාර්තාකරුවන් පවසනවා..
මේ හේතුවෙන් ප්‍රදේශය යළි නායයෑමේ අවදානම ඉහළ ගොස් ඇතැයි ගම්වාසීන් බිය පල කරනවා.
ගම්වැසියන්ගේ සුවදුක් විමසීම සඳහා ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල මහත්මිය එම ප්‍රදේශයට පැමිණියා.
මෙහිදී පසුගිය නායයෑමට ලක්වු මඩොල්සිම සිට මැටිගහතැන්න ඇකිරිය මීගහකිවුල දක්වා අවට ප්‍රදේශය යළි සක්‍රීය වන අයුරුද දක්නට ලැබුණා.

මේ අතර පසුගිය ආපදා සමයේ පේරාදෙණිය කළු පාලම සහ කළුගමුව පාලමේ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව පසුගිය 14 වැනිදා ආරම්භ කළ මෙහෙයුම අවසන් කර තිබෙනවා.
ගංවතුර සමඟ ගසාගෙන ආ විශාල දැව කඳන්, උණ පදුරු ඇතුළු ද්‍රව්‍ය රැසක් පාලමේ සිරවී තිබූ අතර, ඒ හේතුවෙන් පාලම හරහා ජලය බැස යාමට බාධා එල්ල වී තිබුණා.
එමෙන්ම පෙරාදෙණිය නිල්ලඹ ප්‍රදේශයේ මහවැලි ගග හරහා ඇති කළුගමුව පාලම තුළ සිරවූ දැව කදන් වැනි අපද්‍රව්‍ය හේතුවෙන් ගැටඹේ සිට නිල්ලඹ දක්වා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ජල පවිත්‍රාගාරය වෙත ජලය රැගෙන යනු ලබන ප්‍රධාන නල මාර්ගයට හානි සිදුවීමේ අවදානමක් ද ඇතිවූ බව නාවික හමුදාව පවසනවා.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමඟ ලේවැල්ල පාලම යට මහවැලි ග‍ෙඟ් විශාල වශයෙන් අපද්‍රව්‍ය එකතු වී ඇති ආකාරය දක්නට ලැබෙනවා.
එසේම ඓතිහාසික පැරණි සංගිලි පාලම අසලද කසළ සිරවී තිබෙනවා.
මේ හේතුවෙන් ජලය ගලා යාමට බාධා එල්ල වී ඇති අතර, හැකි ඉක්මණින් එම අවහිරතා ඉවත් කර දෙන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර නුවරඑළිය නගරයේ ඇති වූ ගංවතුර තත්ත්වයට හේතුව, නුවරඑළියේ පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වන තලගල ඔය ඇළ පිටාර ගැලීම බව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතා පවසනවා.
නුවරඑළිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑළිය ග්‍රෙගරි වැවේ වාන් දොරටු විවෘත නොකිරීම නිසා නුවරඑළිය නගරය ජලයෙන් යට වූ බවට පලවන මාධ්‍ය වාර්තා නගරාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා.

මේ අතර, දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් වු මාවිල්ආරු අමුණ, නීලබැම්ම සහ අලෙහි මහවැලි වැව් බැම්ම කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ නිරීක්ෂනයට ලක්වුණා.
මහවැලි ග‍‍ෙඟ් ආරක්ෂක බැම්ම කැඩී යාම හේතුවෙන් කුඹුරු අක්කර 9000ක් හානියට පත්ව ඇති අතර, ගොවිජනතාව එහිදී ඉල්ල සිටියේ මෙම ආරක්ෂක බැම්ම අඩි පහක් පමණ උස්කර දෙන ලෙසයි.

ප්‍රංශ රජය විසින් පරිත්‍යාග කළ මෙට්‍රික් ටොන් 14ක මානුෂීය ආධාර රැගත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපල වෙත ඊයේ පැමිණියා.
බ්ලැන්කට්, බුමුතුරුණු,කූඩාරම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය, මුළුතැන්ගෙයි උපකරණ සහ ඇඳන් ඇතුලු භාණ්ඩ රැසක් ඊට ඇතුළත්.

යුරෝපා සංගමයෙන් ද ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 2.35කට අධික මානුෂීය ආධාර තොගයක් මෙරටට එවා තිබෙනවා.
මෙම මානුෂීය ආධාර තොගයට කූඩාරම්, මෙට්ට, සනිපාරක්ෂක ද්‍රව්‍ය, මුළුතැන්ගෙයි කට්ටල, ඇඳන්, ජල පෙරහන් වැනි සහනාධාර ටොන් 83ක් ඇතුළත්.
මෙරට ආපදා තක්සේරු කිරීම සඳහා ප්‍රතිසංවිධාන ක්‍රියාවලියට සහයවීම සඳහා ඉතාලියේ ඉංජිනේරුවරු කණ්ඩායමක් මෙරටට එවා ඇති අතර, යුරෝපා සංගමයේ හදිසි කළමනාකරණ සේවාව වේගවත් සිතියම්කරණය මඟින් මේ වන විට සිතියම් 30ක් නිර්මාණය කර භාර දී තිබෙනවා.

දිට්වා සුළි කුණාටුවෙන් පසුව අධිකරණ සහ බන්ධනාගාර කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට යුරෝපීය සංගමයේ මුල්‍ය අනුග්‍රහය යටතේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඒකාබද්ධව ක්‍රියාත්මක කරන යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය යටතේ ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ දී අද සිදුකෙරුණා.

Share