‘බෙදුම්වාදී බලවේග’ වලට අනතුරු ඇඟවීමක් ලෙස චීනය තායිවානය වටා හමුදා අභ්‍යාස පවත්වයි

චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකය තායිවාන දූපත වටා මුර සංචාර සමගින් යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.
“Justice Mission 2025” ලෙස නම් කර ඇති යුද අභ්‍යාසය සඳහා චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකයට අයත් පාබල, නාවික, ගුවන් හමුදා සහ රොකට් බලකායේ භටයින් සහභාගී වනවා.
චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකයේ ප්‍රකාශක ෂී යී ප්‍රකාශ කළේ තායිවාන සමුද්‍ර සන්ධියේ, තායිවාන දූපතේ උතුර, නිරිතදිග, අග්නිදිග හා නැගෙනහිර දිශාවන්හි එම යුද අභ්‍යාස සිදු කෙරෙන බවයි.
මුහුදු-ගුවන් සටන් සූදානම සඳහා වන මුර සංචාරය , යුද කලාපයේ පූර්ණ පාලනය අත්පත් කර ගැනීම, ප්‍රධාන වරායන් හා ප්‍රදේශ අවහිර කිරීම ඇතුළු කාර්යයන් කෙරෙහි යුද අභ්‍යාසයේදී වැඩි අවධානය යොමු කෙරෙනු ඇති.
යුද අභ්‍යාස , තායිවාන බෙදුම්වාදීන් හා තායිවාන කටයුතුවලට මැදිහත්ව සිටින බාහිර බලවේගයන්ට එරෙහි දැඩි අනතුරු ඇඟවීමක් බවත් , එය චීනයේ ස්වාධිපත්‍යය හා එක්සත්භාවය ආරක්ෂා කිරීම සඳහා ගන්නා නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් බවත්, ෂී යී වැඩිදුරටත් සඳහන් කරනවා.

Share