ලොව පුරා කිතුනු බැතිමතුන් අති උත්කර්ෂයෙන් සමරන අසිරිමත් නත්තල තවත් සිව්දිනකින් උදාවනවා.
නත්තලට පෙර ගෙවෙන අවසන් සති අන්තය රට පුරා බොහෝ නගර කාර්ය බහුල වී තිබුණේ නත්තල් සාප්පු සවාරි හේතුවෙන්.
රටේ එක් පසෙක නත්තල දෝතින් පිළිගන්නට කොටසක් සැරෙසෙද්දී අනපේක්ෂිත ලෙස හැඳිවත පමනක් සිය එකම උරුමය කර ගත් කොටසක් නත්තලත් ඉන් පසුව එළැඹෙන නව වසර දෙසත් බලා සිටින්නේ මහත් අවිනිශ්චිත සිතුවිල්ලෙන්.
ඒ නොවැම්බර් අවසන් සතියේ බලපෑ දිට්වා සුලිකුණාටුව හේතුවෙන් හිසට සෙවණක් නොමැතිව මේ මව්බිමේ ම සරණාගත වූ කොටසයි.
ලොවට සාමයේ පණිවිඩය ගෙනා ජේසු බිළිඳාගේ උපත සිහි කෙරන නත්තල මහත් උත්කර්ෂයෙන් සමරන්නට කොළඹ නගරය සැරසී සිටින්නේ විථි පවා ආලෝක රටාවන්ගෙන් වර්ණවත් කරමින්.
උත්සව සමයට පෙර අවසන් සති අන්තයේ සාප්පු සවාරි ආ පිරිසගෙන් පිටකොටුවේ බොහෝ වීථි පමණක් නොව කොළඹ සාප්පු සංකීර්ණ පවා පිරී ඉතිරී ගොස් තිබුණා.
ඇඳුම් පැළඳුම්, ගෘහ උපකරණ පමණක් නොව නත්තල් සැරසිලිවලට ද තිබුණේ ඉහළ ඉල්ලුමක්.
නමුත් වෙළෙඳුන් පවසන්නේ වෙනදා තරම් අලෙවියක් මෙවර නොමැති බවයි.
අගනුවර සීමාවේ තත්තවය මෙසේ වුවත් කැලණි ගඟ පිටාර ගැලීමේන් ජලයෙන් යට වූ කොළඹ හා අවට බොහෝ ප්‍රදේශවල ජනතාව ඉන් දෙසතියකට පසුවත් තවමත් එක කම්පනයෙන් මිදී නැහැ.
මේ ජල ගැලීමෙන් නිවාස දේපල හානි වූ බොහෝ දෙනක් තවමත් දිවි ගෙවන්නේ කූඩාරම් තුළයි.
දිට්වා සුළි කුණාටුව වැඩිම හානියක් කළ මධ්‍යම කඳුකරයේ තත්ත්වය මීටත් වඩා ඛේදජනකයි.
නත්තලට ගවලෙනක් හදනවාට වඩා ඔවුන් තුළ ඇත්තේ තම හිසට සෙවණක් පිළිබඳ අවිනිශ්චිත බලාපොරොත්තුවක්.
මේ ඛේදවාචකයත් සමගම අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ප්‍රමුඛ කතෝලික සභාව මෙරට කිතුනු ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ මෙවර නත්තල හැකි තරම් බාහිර ආටෝපයන්ගෙන් තොරව සමරන ලෙසයි.
රටේ තවත් ඉසව්වක වැළපෙන හදවතකට සැනසිල්ලක් වෙමින් හුදු සැරසිල්ලෙන් ඔබ්බට සැබෑ නත්තලක් හා ප්‍රීතිමත් උත්සව සමයක් වෙනුවෙන් කැප වන්නට හැකි නම් එය කිතුණු ප්‍රේමයට දිරිමත් සාක්ෂි දැරීමක් වනු ඇති.





