බාලගිරියක් වූ පීඩන අවපාතය

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කර හෙට දින ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙම ගැඹුරු පීඩන අවපාතය අද ප.ව. 1 වනවිට මඩකලපුව සිට කිලෝමීටර් 160ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථාපනය වෙමින් පවතින බවයි වාර්තා වුණෙ.

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද ප.ව. 1 වනවිට මඩකලපුව සිට කිලෝමීටර් 160ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථාපනය වෙමින් තිබුනා.
නවතම කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ මෙම පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කර හෙට සවස් කාලයේදී යාපනය සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
එහි බලපෑම හේතුවෙන් ඇතැම් ස්ථාන වලට මි.මී 100ක තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම ඉදිරි දින තුන සඳහා උතුර, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව, බස්නාහිර, ඌව, වයඹ, මධ්‍යම යන පළාත්වලට පැයට කිලෝමීටර් 50-60ත් වන තද සුළං ඇති විය හැකි බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
එමෙන්ම මෙම ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 70දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං බලාපොරොත්තු විය හැකි බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර මධ්‍යම කඳුකරේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශයේ බොහෝ ස්ථාන වල සහ වලපනේ, පදියපැලැල්ල, හේවාහැට, ලූල්කඳුර, දෙල්තොට, ප්‍රදේශ අද දවස පුරා මීදුමෙන් වැසී තිබෙන අයුරු දක්නට ලැබුණා.

මේ අතර පවතින වර්ෂාව සහ මෑතකදී ඇති වු නායයෑම් හා භූ අස්ථාවර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පනවා ඇති තෙවන සහ දෙවන අධියරේ නාය යෑමේ අනතුරු ඇගවිමේ නිවේදන තවදුරටත් හෙට පෙරවරු 9 දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරනවා.
ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට සහ හඟුරන්කෙත ප්‍රදේශිය ලේකම් කොට්ඨාශ වලට දෙවන අදියරේ නිවේදන තවදුරටත් බලපැවැත්වෙනවා.
එමෙන්ම තෙවන අදියරේ නිවේදන මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, නිලදණ්ඩාහින්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට බල පැවැත්වෙනවා.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාම් අවදානම් ප්‍රදේශ ලෙස නම්කර ඇති ප්‍රදේශවල පිහිටි සියලුම පාසල් අද පෙරවරු 11 සිට වසා දැමූ බව ඌව පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මනෝහරී ෆොන්සේකා මහත්මිය සදහන් කළා
ඇය පැවැසුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම අනාවැකිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව මෙම පියවර ගත් බවයි.

මේ අතර ප්‍රධාන ජලාශ 73න් 28ක් මෙන්ම මධ්‍ය ප්‍රමාණයේ වැව් 22ක් තවදුරටත් වාන් දැමීම සිදුවන බව ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා සදහන් කළා.

මේ අතර පැවති අයහපත් කාලගුණය හමුවේ මින්නේරි ජලාශයේ වැඩිවන ජල මට්ටම පාලනය කර ගැනීම සඳහා කන්තලේ ජලාශයට ජලය ගෙන යන යෝධ ඇල හරහා කවුඩුල්ල ජලාශයට ජලය මුදා හැරීම ආරම්භ කල බව මින්නේරිය වාරි ඉංජිනේරුවරයා සඳහන් කලා.

ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අලිකොටආර ජලාශයේ වාන් දොරටු 3ක් අඩිය බැගින් තවදුරත් විවෘත කර ඇති අතර එම ජලය කිරිදිඔයට ගලා යෑම නිසා කිරිදිඔයේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බව‍යි වාරි ඉංජිනේරු කර්යාලය සදහන් කළේ.

මේ අතර මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මුතුකණ්ඩිය ජලාශයේ ජල මට්ටම උපරිම ජල ධාරිතාව ඉක්මවා ගොස් වාන් දැමීම ආරම්භ කර ඇති අතර ඉන් මුදා හැරන ජලය හැඩඔයට එකතු වීමත් සමග හැඩඔයේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා.
ඒ හේතුවෙන් හැඩඔය දෙපස ජනතාව තවදුරත් අවධානයෙන් පසුවන ලෙසයි මොණරාගල දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකය දැනුම් දෙන්නේ.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට ඊයේ පස්වරු 5.05ට පමණ සුළු භූ චලනයක් සිදුව තිබෙනවා.
එය රික්ටර් මාපකයේ ඒකක 2.2ක් ලෙස වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කළා
මඬුල්ල, කලවල, මහවල, උඩපිටවල, තේමණ්ඩිය, පපුකන්ද යන ප්‍රදේශවල ජනතාවට මෙම කම්පනය දැනී ඇති බවයි අප වාර්තා කරුවන් සදහන් කලේ.

Share