බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය රටේ ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම විකාර සහගත තත්ත්වයකට ඇද දමා ඇතැයි NDTV විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසනවා. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය 2026 T20 ලෝක කුසලානයෙන් බංග්ලාදේශය නිල වශයෙන් ඉවත් කිරීමෙන් පැය කිහිපයක් ඇතුළත, එහි මූල්‍ය කමිටුවේ ප්‍රධානියා ලෙස නස්මුල් ඉස්ලාම් නැවත පත් කිරීමෙන් මණ්ඩලය ක්‍රීඩකයින් පවා දී ඇතැයි පුවත් වාර්තාවේ සඳහන්. ක්‍රීඩකයින් මෑතකදී නස්මුල් පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමේ පොරොන්දුවක් මත ක්‍රිකට් තරග වර්ජනය කිරීමෙන් පවා ඉවත් වුණා. අර්බුදය ඇවිළුණේ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පවා ප්‍රසිද්ධියේ විවේචනය කරන ලද බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂවරයෙකු වන එම් නස්මුල් ඉස්ලාම් ගේ අදහස් දැක්වීමක් හේතුවෙන්. ලෝක කුසලානයේ තරග පැවැත්වෙන ස්ථාන සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය විසඳීමට ඉන්දීය ක්‍රීකට් පාලක මණ්ඩලය සමග සංවාදයක නිරත විය යුතු යැයි බංග්ලාදේශයේ හිටපු නායක තමීම් ඉක්බාල් කළ යෝජනාවෙන් පසුව නස්මුල් ප්‍රසිද්ධියේ තමීම් ” ඉන්දියානු නියෝජිතයෙකු” ලෙස ලේබල් කළා.
අපහාස එතැනින් නතර වූයේ නැහැ. බංග්ලාදේශය ලෝක කුසලානයෙන් ඉවත් වුවහොත් ක්‍රීඩකයින්ට වන්දි ලැබීමට සුදුසු නොවන බව පැවසූ නස්මුල් යෝජනා කළේ සංචිතය ක්‍රීඩකයින් දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ විට මණ්ඩලය ක්‍රීඩකයින්ගෙන් මුදල් ආපසු අය කර ගත යුතු බවයි. නස්මුල්ගේ ප්‍රකාශයෙන් ක්‍රීඩකයින් ඇවිළුණු අතර බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සුභසාධන සංගමයේ සභාපති මොහොමඩ් මිතුන් , නජ්මුල් හොසේන් ෂැන්ටෝ සහ මෙහිඩි හසන් මිරාස්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් බංග්ලාදේශ ප්‍රිමියර් ලීගය වර්ජනය කළා.
විරෝධතා හේතුවෙන් නස්මුල්ට එරෙහිව පියවර ගැනීමට පාලක මණ්ඩලයට සිදු වුණේ තරගාවලිය සහ එහි විකාශන ආදායම ආරක්ෂා කර ගත යුතු වූ බැවිනුයි. ඒ අනුව නස්මුල් මූල්‍ය ප්‍රධානී තනතුරෙන් “නෙරපා හැර” නිදහසට කරුණු දක්වන ලෙස BCB දැනුම් දුන්නා. ඒ අනුව ක්‍රිකට් පාලක මණ්ඩලය අවසානයේ ඔවුන්ගේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටි බව විශ්වාස කළ බංග්ලාදේශ ක්‍රීඩකයින් නැවත පිටියට පැමිණීමට තීරණය කළ ද ඔවුන්ගේ සතුට කෙටි කාලයකට සීමා වුණා. දේශීය ගැටලුව විසඳී තිබියදී, ICC යේ බලා සිටීම අවසන් වූ අතර බංග්ලාදේශය T20 ලෝක කුසලානය සඳහා ඉන්දියාවට යාම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම මත ස්කොට්ලන්තය ආදේශ කෙරුණා. NDTV වාර්තාවට අනුව මෙම කතාවේ වඩාත්ම නරුම පරිච්ඡේදය සිදු ව ඇත්තේ ඉන් අනතුරුවයි. ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය එහි මූල්‍ය කමිටු ප්‍රධානියා ලෙස නස්මුල් ඉස්ලාම් නැවත පත් කර තිාබනවා. බංග්ලාදේශ මාධ්‍ය වාර්තාවලට අනුව, ඔහුගේ නිදහසට කරුණු දැක්වීම් සතුටුදායක බව තීරණය කිරීමෙන් පසු නස්මුල් යළි සුපුරුදු තනතුරට පත් කරනු ලැබ ඇතැයි සඳහන්. සිය ක්‍රීඩකයින් T20 ලෝක කුසලානයට සහභාගී වීමට කැමැත්ත පල කර තිබියදීත් ඊට ඇහුම්කන් නොදුන් බංග්ලාදේ්ශ ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිකට් ලෝකය තුළ හුදකලා වීමේ අවදානමකට ද ඇද වැටී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ මුලින් පැවති ස්ථාවරයෙන් යම් තරමකට අපගමනය වෙමින් පාකිස්තානය තරගාවලිය වර්ජනය කිරීමේ තීරණයක් ගැනීම තවදුරටත් කල් තැබීම හේතුවෙන්. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සහ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහිසින් නක්වි සහ අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ඊයේ හමුවුණේ මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. නමුත්, සියලු කාරණා සලකා බලා සිකුරාදා හෝ ලබන සඳුදා අවසන් තීරණයක් ගනිමු යැයි අග්‍රාමාත්‍යවරයා පැවසු බව සාකච්ඡාවෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් නක්වි පැවසුවා. සමස්ත තරගාවලිය වර්ජනය කිරීම වෙනුවට විරෝධය පල කිරීමක් ලෙස පෙබරවාරි 15 වැනිදා පැවැත්වෙන මූලික වටයේ ඉන්දියාව සමග තරගය පමණක් පාකිස්තානය වර්ජනය කරනු ඇතැයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළා.





