බංග්ලාදේශය T20 ලෝක කුසලානයේ කණ්ඩායම් වෙනසක් ඉල්ලා සිටී

ඉන්දියාව සමග උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය තුළ බංග්ලාදේශය ICC T20 ලෝක කුසලාන තරගාවලියේ තමන් සහභාගීවන කාණ්ඩය වෙනස් කිරීමක් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව මූලික වටයේ ඉන්දියාවේ දී තරග වැදීම වෙනුවට ශ්‍රී ලංකාවේ දී තරග කළ හැකි ආකාරයට අයර්ලන්තය සමග මෙම හුවමාරුව සිදුකරන ලෙසයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා ඇත්තේ.
මෙම ඉල්ලීම කර ඇත්තේ ක්‍රීඩකයින්ගේ, ජනමාධ්‍යවේදීන් සහ ක්‍රීඩාලෝලීන් ඇතුලු අනෙකුත් පාර්ශ්වයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති උත්සුකයන් උපුටා දක්වමින්.
කෙසේ වෙතත්, තරඟකාරී සමතුලිතතාවය සහ සාධාරණත්වය පිළිබඳ ගැටළු මතුවන මෙම තීරණයට ශ්‍රී ලංකාව මෙන්ම සහභාගීවන තවත් කණ්ඩායම් කිහිපයක්ම යෝජනාවට විරෝධය පල කර ඇතැයි වාර්තා වනවා.
බංග්ලාදේශයේ ඉල්ලීම අනුමත වුවහොත් සංශෝධිත කාණ්ඩයට ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ ඇතුළත් වන අතර එමඟින් තරඟාවලියේ වඩාත්ම තරඟකාරී කාණ්ඩය එය වනු ඇති.
ඩකාහි ඊයේ පැවති ICC නිලධාරීන් සමඟ සාකච්ඡාවක දී බංග්ලාදේශය මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර, පසුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සාකච්ඡා “හිතකර සහ වෘත්තීය” ලෙස පැවති බව නිවේදනය කළා.
අවම සැපයුම් වෙනස්කම් අවශ්‍ය විසඳුමක් ලෙස කණ්ඩායම් හුවමාරුවක් ඉදිරිපත් කළ බවයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ.
මේ අතර අයර්ලන්තය කාණ්ඩ හුවමාරු යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එරට ක්‍රිකට් ආයතනය උපුටා දක්වමින් Cricbuzz, වාර්තා කළේ අයර්ලන්ත කණ්ඩායම B කාණ්ඩයෙන් තමන් ඉවත් නොකරන බවට ICC විසින් නිශ්චිත සහතික ලබා දී ඇති බවයි.
වර්ධනය වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ICC ය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

Share