දිට්වා සුලි කුණාටුවත් සමග ඇති වූ හදිසි ගංවතුරට හසුව බරපතළ ලෙස විනාශ වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජාව මුණ ගැසීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එහි සංචාරයක නිරත වුණා.
අධ්‍යයන ගොඩනැගිලි, ශිෂ්‍ය නේවාසික පහසුකම් සහ ප්‍රධාන යටිතල පහසුකම්වලට සිදු වූ හානිය පරීක්ෂා කළ අග්‍රාමාත්‍යවරිය සිසුන් හා පීඨාධිපතිවරුන් සමග සාකච්ඡාවකට ද එක් වෙමින් ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කළා.
විශ්ව විද්‍යාලයට සිදුව ඇති හානිය රුපියල් බිලියන 6ක් ඉක්මවන බව ද මෙහිදී අනාවරණ වුණා.
විශ්විද්‍යාල කටයුතු යළිත් යථා තත්ත්වයට පත් කිරීමට සහ සිසුන්ගේ අධ්‍යයන කටයුතු හා දෛනික කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සහාය ලබා දීමට අවශ්‍ය පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපතිවරයා සහ හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සමඟ සාකච්ඡා කර තිබෙනවා.
පෙරට වඩා ශක්තිමත්, ආරක්ෂිත ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවත ගොඩනැගීමට සහාය ලබා දීමට රජය සූදානම් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය රජයේ උපකාර කඩිනම් කරන ලෙස අදාළ ආයතනවලට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත් වී සිටින ජනතාවගේ ජන ජීවිතය යතාතත්වයට පත් කිරීමේ අරමුණින් ගුවන් හමුදාව විසින් සිදුකරන සහන සේවා සහ පිරිසිදු කිරීමේ කටයුතු ඊයේ දිනයේත් ප්‍රදේශ කිහිපයකම ක්‍රියාත්මක වුණා.
මේ අතර ආපදා තත්ත්වයෙන් පසුව පවතින වටපිටාව පිරිසිදු කරනොගතහොත් ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.
දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් විශාල ඇල මාර්ග ප්‍රමාණයක් විනාශ වී තිබෙන බැවින් තාවකාලික බැමි ඉදිකර ගොවිතැනට අවශ්‍ය ජලය ලබාදීමට කටයුතු කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර ආපදාවෙන් විපතට පත් සිය සාමාජිකයන්ගේ සුවදුක් විමසීමට ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කළා.




