පාර මැද කානුවේ අලුත් කතාව

බර වාහන පවා ගමන් කළ හැකි පරිදි ශක්තිමත් ලෙස නිමකර තිබූ මාර්ගයක් මැද කාණුවක් කපා කඩවත, ඉහළ බියන්විල, කනත්ත පාරෙ සිදුකරන අරුම පුදුම සංවර්ධන කටයුත්තක් පිළිබඳ පුවතක් ටී.වී.සුප්‍රීම් නිව්ස් ඔස්සේ ඊයේ අපි රටට අනාවරණය කළා.
මෙම පුවත සමාජමාධ්‍ය ඔස්සේ ඉහළ ප්‍රතිචාර ලබමින් ප්‍රචාරය වීමත් සමඟ ඊට ප්‍රතිචාර දක්වමින් ගමේ තවත් කණ්ඩායමක් සඳහන් කරමින් සිටියේ මෙම පුවතේ තවත් පැත්තක් ඇති බවයි.
අනුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට tv supreme කැමරා කණ්ඩායමක් කඩවත ඉහළ බියන්විලට ගියා.
බදු ගෙවන ජනතාවගේ මුදලින් ඉදිකර තිබෙන මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් ටී.වී.සුප්‍රීම් ප්‍රවෘත්ති කණ්ඩායම බියගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගෙන් අවස්ථා ගණනාවකදී විමසීම් කළත් ඔහු දැක්වූයේ නිහඬ ප්‍රතිචාරයක්.
අද අප ප්‍රවෘත්ති කණ්ඩායම බියගම ප්‍රාදේශීය සභාවට පිවිසෙන විට එහි සිටි පිළිගැනීමේ නිලධාරිනිය කියා සිටියේ සභාපතිවරයා රැස්වීමකට සහභාගි වී සිටින බවයි.
කෙසේ වෙතත් එම රැස්වීමෙන් අනතුරුව මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වන බවත් ඇය පවසා සිටියා.
කෙසේ වෙතත් පළමුව බියගම ප්‍රාදේශීය සභාවේ ඉහළ මහලට කැඳවූ අප ප්‍රවෘත්ති කණ්ඩායම එහි රැඳී සිටියදී නැවතත් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලෙන් පිටතට යන ලෙසට ඉල්ලීමක් කර තිබුණා.
කෙසේ නමුත් රැස්වීම නිමාවී විනාඩි 30කට අධික කාලයක් ගතවී තිබුණත්, අපගේ ප්‍රවෘත්ති කණ්ඩායමට සභාපතිවරයාගෙන් කිසිදු කැඳවීමක් ලැබුනේ නැහැ.
ඒ අනුව ටී.වී.සුප්‍රීම් ප්‍රවෘත්ති කණ්ඩායම බියගම ප්‍රාදේශීය සභාවේ පිළිගැනීමේ නිලධාරිනියගෙන් මේ සම්බන්ධයෙන් නැවතත් විමසා සිටියා.
එහිදී ඇතිවූයේ මෙවන් තත්ත්වයක්.

ඉන් අනතුරුවයි අප ප්‍රවෘත්ති කණ්ඩායම ප්‍රදේශවාසීන් සිදුකළ ඉල්ලීමට අනුව මේ පුවතට සම්බන්ධ අනෙක් පාර්ශ්වයේ තොරතුරු දැන ගැනීම සඳහා කඩවත ඉහළ බියන්විල කනත්ත පාර ප්‍රදේශයට ගියේ.

කඩවත, ඉහළ බියන්විල, කනත්ත පාරෙ මෙලෙස මාර්ගය මැද කාණුවක් කපා මේ සංවර්ධන කටයුත්ත සිදු කරන්නේ එම මර්ගය ඔස්සේ ගලා යන ජලය අසල තිබෙන නිවසකට එක්රැස් වෙන බව පවසමින්.
එම නිවසේ පදිංචි කාන්තාවකගේ පෞද්ගලික අවශ්‍යතාවය මත ප්‍රාදේශීය සභාවේ මුදල් රුපියල් ලක්ෂ 23ක් වැය කරමින් මෙම කොන්ක්‍රීට් කාණුව ඉදිකෙරෙන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.
මේ වෙනුවෙන් ඉදිකරන කාණුවේ ජලය නිසි බැස්මකට යොමු නොකොට අතරමඟ නතර කිරීම නිසා මාර්ගයේ වෙනත් ස්ථාන ගණනාවක් ජල ගැලීමේ අවදානමකට ද ලක්ව තිබෙන අයුරුත් අප අනාවරණය කළා.
කෙසේ වෙතත් මෙම අවිධිමත් සංවර්ධන කටයුත්තේ සැලැස්ම සඳහා බියගම ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරීන් දෙදෙනෙකු අත්සන් තබා තිබුණා.
ඊට සභාපතිවරයා අත්සන් තබා නොතිබුනද ප්‍රදේශවාසීන් චෝදනා කළේ මේ සම්බන්ධයෙන් බියගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාට කල කිසිදු පැමිණිල්ලකින් ප්‍රතිඵලයක් නොවුණු බවයි.

මාර්ගයක් මැද කාණුවක් කපා කඩවත, ඉහළ බියන්විල, කනත්ත පාරෙ සිදුකරමින් තිබෙන ඉදිකිරීම සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු විමසීමට ටී.වී.සුප්‍රීම් නිව්ස් කණ්ඩායම අද එම ප්‍රදේශයට ගිය විට එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
එමෙන්ම අප කණ්ඩායම මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට බියගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද දිනයෙත් අපගේ ප්‍රවෘත්ති කණ්ඩායම මග හැරියා.

Share