පාතාලේ තවත් පිරිසක් කොටු වෙයි

මෙරට පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සිට රටින් පලා ගොස් ඩුබායිහි සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සහ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව වූ සැකකාර කාන්තාවක් ඩුබායි පොලිසියේ අත්අඩංගුවට පත්වීමෙන් පසු මෙරටට රැගෙන ආවා.
ඒ අනුව දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ එම සැකකරුවන් අද අලුයම මෙරටට රැගෙන ආවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්.

මනුෂ්‍ය ඝාතන සහ කප්පම් ගැනීමේ චෝදනා ඇති මෙම සැකකරුවන් මෙරටින් පලා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටියදී පසුගියදා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඉන් පසු මෙම සැකකරුවන් දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ අද අලුයම 05.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 226 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවා.
මෙම සැකකරුවන් අතර රවීන් චමින්ද වීරසිංහ නොහොත් පුංචා නැමති ඇල්පිටිය, ඌරගහ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු සිටින අතර ඔහු ඇල්පිටිය ප්‍රදේශයේ සිදු වූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ ඌරගහ ඉන්දික නැමැති අපරාධකරුගේ සමීපතමයෙක්.
30 හැවිරිදි අනෙක් සැකකරු වන රසික සංජීව කුමාර නොහොත් චූටි මල්ලී නැමැත්තා හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සමීර මනහරට කඳානේදී වෙඩිතැබීමේ සිද්ධිය මෙහෙයවූ රංජිත් කුමාර හෙවත් කොණ්ඩ රංජි නැමැත්තාගේ ප්‍රධානම ගෝලයා ලෙසටයි සැක කෙරෙන්නේ.
ඔහු කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම සැකකරුවන් දෙදෙනාට අමතරව මූල්‍ය වංචාවක් සම්බන්ධ පොලිස් විමර්ශන සදහා අවශ්‍යව සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි රුජා නිශාමනී ද සිල්වා නම් කාන්තාවක්ද ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයද අද මෙරටට රැගෙන එනු ලැබුවා.
ඔවුන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර උතුර පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයටත්, ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට මෙන්ම කාන්තාව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථාන කාර්යාලය වෙතටත් දැඩි ආරක්ෂක රැකවල් යටතේ රැගෙන යාමට පියවර ගැනුනා.

Share