පාසල් ඇරඹීම දෙසැම්බර් 16

මේ වන විට ආරම්භ කළ හැකි මට්ටමේ පවතින සියලු ජාතික හා පළාත් පාසල් දෙසැම්බර් 16 වැනිදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා
අධ්‍යාපන බලධාරීන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ටීවී සුප්‍රීම් වෙත පැවසුවා.

පවතින ආපදා තත්ත්වය හමුවේ පාසල් ආරම්භ කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේදි පැවැත්වුණා.
සාකච්ඡාව සඳහා කැඳවා තිබුණේ ජාතික පාසල් විදුහල්පතිවරුන් හා අධ්‍යාපන පරිපාලන නිලධාරීන්.
අදාළ සාකච්ඡාවේ දී තීරණය වී ඇත්තේ නැවත ආරම්භ කළ හැකි සියලුම ජාතික හා පළාත් පාසල් දෙසැම්බර් 16 ආරම්භ කිරීමටයි.
එදිනට ආරම්භ කළ නොහැකි පාසල් ආරම්භ කළ හැකි දිනය තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට හා පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත ලබා දී තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් 16 ආරම්භකරන පාසල් සඳහා වර්ෂ අවසාන නිවාඩුව දෙසැම්බර් 23 සිට ලබා දෙනු ඇති.
අදාළ කාලය තුළ පාසල ශුද්ධ පවිත්‍රකර යථාවත් කිරීම ගංවතුර නිසා ආපදාවන්ට පත්වූ දරුවන් හඳුනා ගැනීම හා ඔවුන්ට අවශ්‍ය මානසික හා අනෙකුත් සුබසාධන කටයුතු හඳුනාගැනීම සංවිධානය කිරීම සඳහා යොමුකිරීම පමණක් සිදු කෙරනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවා.
2026 වර්ෂය සඳහා සියලුම පාසල් නැවත ජනවාරි 01 වැනිදා ආරම්භ කරනවා.
2026 වර්ෂය සඳහා පාසල් ආරම්භ වූ විගස 11 ශ්‍රේණිය සඳහා පමණක් වාර විභාග පැවැත්වීමට තීරණය කර ඇති අතර අනෙක් පන්ති සඳහා වාර විභාග පැවැත්වීමට අවශ්‍යමනම් ඒ පිළිබඳ තීරණ ගැනීමේ බලය විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යාපන බලධාරීන්ට පවරා තිබෙනවා.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ වාර විභාග නොපැවැත්වූවද සියලුම සිසුන් ඊළග ශ්‍රේණිය සඳහා සමත් කළ යුතු බවයි.
එමෙන්ම 2025 උසස්පෙළ විභාගයේ පැවැත්වීමට නොහැකි වූ ඉතිරි විෂයන් පැවැත්වීම පිළිබඳව තීරණය විභාග දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර හැකි ඉක්මනින් ලබා දිය යුතු බවද අදාළ සාකච්ඡාවේදී අවධානයට ලක්ව තිබෙනවා.

Share