නවසීලන්තය පළමුවරට ඉන්දියාවේදී ඉන්දියාව පරාජය කරමින් එක්දින ක්රිකට් තරගාවලි ජයක් ලැබුවා. එකට එකක් ලෙස සම තත්ත්වයේ පැවති නවසීලන්තය සහ ඉන්දියාව අතර එක්දින තරගාවලියේ තීරණාත්මක තෙවැනි සහ අවසන් තරගය ඊයේ ඉන්දෝර් හි දී පැවැත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු අටක් දැවී ලකූණු 337ක් රැස් කළා.
පළමු කඩුලු තුන ලකුණු 58කට දැවී තිබියදී පිටියේ එක්වුණු ඩැරල් මිචල් සහ ග්ලෙන් පිලිප්ස් සිව්වැනි කඩුල්ලට ලකුණු 214ක් එක් කරමින් තරගය මුළුමනින්ම වෙනස් කළා
ඩැරල් මෙම තරගාවලියේ දෙවැනි ශතකය රැස් කළ අතර එය ඉන්දියාවට එරෙහිව රැස්කළ සිව්වැනි ශතකයයි.
එම ශතක හතරම රැස් කර ඇත්තේ ඉන්දියාවේ දී වීමත් විශේෂත්වයක්.
පිලිප්ස් පන්දු 88කින් වේගවත් ලකුණු 106ක් රැස් කර ගත්තා.
ඉන්දීය පිළිතුරු ඉනිමේ පළමු කඩුලු හතර ලකුණු 71ක් තුළ දැවී ගියා.
කෙසේ වෙතත් සුපිරි ඉනිමක් ක්රීඩා කරමින් සිය 54 වැනි එක්දින ශතකය සම්පූර්ණ කළ විරාට් කෝලි ලකුණු 124ක් රැස් කර ගත්තා.
නිටිෂ් රෙඩ්ඩි සහ හර්ෂිට් රානා සිය මංගල අර්ධ ශතක සම්පූර්ණ කර ගනිමින් මෙම පරිණත ක්රීඩකයාට සහය වුවත් තුන් ඉරියව් පන්දු යවන්නන් සමග ජයග්රහණය කර යන්නට තරම් ඉලක්කය පහසු වූයේ නැහැ.
ඒ අනුව ඉන්දීය ඉනිම සියලු දෙනා දැවී ලකුණු 296කට සීමා වුණා.
කෝලි එක්දින තරගයක හඹා යෑමකදී ශතක 29ක් රැස්කර ඇති අතර එවැනි තරගයක් ඉන්දියාව පරාජය වුණේ පස්වැනි වරටයිි.
මෙම ජයත් සමග නවසීලන්තය 2 – 1 ක් ලෙස ඉන්දියාවේදී ඓතිහාසික එක්දින තරගාවලි ජයක් ලැබුවා.





