නත්තල මහත් උත්කර්ෂයෙන් සමරන්නට කොළඹ නගරය සැරසෙයි

ලොව පුරා කිතුනු බැතිමතුන් උත්කර්ෂයෙන් සමරන අසිරිමත් නත්තල තවත් සිව්දිනකින් උදාවනවා.
නත්තලට පෙර ගෙවෙන අවසන් සති අන්තයේ රට පුරා බොහෝ නගර කාර්ය බහුල වී තිබුණා.

එසේ වුවත් නොවැම්බර් අවසන් සතියේ බලපෑ දිට්වා සුලිකුණාටුව හේතුවෙන් හිසට සෙවණක් නොමැතිව ඇඳිවත පමණක් ඉතිරිව නත්තලත් ඉන් පසුව එළැඹෙන නව වසර ගැනත් හැඟීම් විරහිතව සිටින පිරිස ලක්ෂ ගණනක්.

ජේසු බිළිඳා‌ගේ උපත සිහි කෙරන නත්තල මහත් උත්කර්ෂයෙන් සමරන්නට කොළඹ නගරය සැරසී සිටින්නේ විථි පවා ආලෝක රටාවන්ගෙන් වර්ණවත් කරමින්.
උත්සව සමයට පෙර අවසන් සති අන්තයේ සාප්පු සවාරි ආ පිරිසගෙන් පිටකොටුවේ බොහෝ වීථි පමණක් නොව කොළඹ සාප්පු සංකීර්ණ පවා ජනාකීර්ණ වී තිබුණා.
ඇඳුම් පැළඳුම්, ගෘහ උපකරණ පමණක් නොව නත්තල් සැරසිලිවලට ද තිබුණේ ඉහළ ඉල්ලුමක්.
නමුත් වෙළෙඳුන් පවසන්නේ වෙනදා තරම් අලෙවියක් මෙවර නොමැති බවයි.
අගනුවර සීමාවේ තත්තවය මෙසේ වුවත් කැලණි ගඟ පිටාර ගැලීමේන් ජලයෙන් යට වූ කොළඹ හා අවට බොහෝ ප්‍රදේශවල ජනතාව ඉන් දෙසතියකට පසුව තවමත් එම කම්පනයෙන් මිදී නැහැ.
බොහෝ දෙනක් තවමත් දිවි ගෙවන්නේ කූඩාරම් තුළයි.
දිට්වා වැඩිම හානියක් කළ මධ්‍යම කඳුකරයේ තත්ත්වය ද මීට දෙවැනි නැහැ.
නත්තලට ගවලෙනක් හදනවාට වඩා ඔවුන් තුළ ඇත්තේ හිසට සෙවණක් පිළිබඳ බිඳුණු බලාපොරොත්තුවක්.
හුදු සැරසිල්ලෙන් ඔබ්බට සැබෑ නත්තලක් හා ප්‍රීතිමත් උත්සව සමයක් වෙනුවෙන් කැප වන්නට හැකි නම් එය කිතුණු ප්‍රේමයට දිරිමත් සාක්ෂි දැරීමක් වනු ඇති.

Share