දෙවිඳු සහ චූටි පුතා දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ධිවර යාත්‍රා දෙකේ අයිස් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 296ක්

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රා දෙකේ සිටි සැකකරුවන් 11 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
එම යාත්‍රා දෙකේ තිබී අයිස් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 296ක් සොයා ගනු ලැබුවා.
මෙම මත්ද්‍රව්‍ය තොගය දැනට විදෙස් රටක සැඟව සිටින දෙහිබාලේට අයත් යැයි සැකකරන බව පොලිසිය සඳහන් කළා.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, දිගුදුර නෞකා යොදාගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා.
එම මෙහෙයුම්වල දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට බහුදින ධිවර යාත්‍රා දෙකක් සහ සැකකරුවන් 11නෙක් නාවික හමුදා භාරයට ගැණුනා.
දෙවිඳු නම් එක් බහුදින ධිවර යාත්‍රාවක හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අන්තර්ගත උර 10ක් සහ සන්නිවේදන උපකරණ තිබී ඇති අතර සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.
චූටි පුතා හෙවත් චුටි මල්ලී නම් අනෙක් යාත්‍රාවේ මත්ද්‍රව්‍ය උරු 4ක් තිබී ඇති අතර එහි සිටි සැකකරුවන් ගණන හයක්.
එම යාත්‍රා අද පෙරවරු 6ට පමණ දික්ඔ්විට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.

ධීවර යාත්‍රා දෙකේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ඇසුරුම් කළ උර ගොඩබිමට රැගෙන ඒමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් එහි සාම්පල පරික්ෂාවට ලක් කළා.

ඒ අනුව යාත්‍රා දෙකේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 184යි ග්‍රෑම් 52 ක් සහ හෙරෙයින් කිලෝ ග්‍රෑම් 112යි ග්‍රෑම් 268ක් තිබුණු බව පොලිසිය පැවසුවා.
දික්ඔ්විට ධීවර වරායට පැමිණි නියෝජ්‍ය ආරක්ෂක ඇමති අරුණ ජයසේකර මහතා මෙන්ම නාවික හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා මෙහෙයුමට එක් වූ නිලධාරීන් ඇගයීමට ලක් කළා.

මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ ධීවර යාත්‍රා දෙකේ සිටි සැකකරුවන් 11 දෙනා අත්අඩංගුවට ගනු ලැබූ අතර සිද්ධිය පිළිබඳ විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකරනවා.
එම සැකකරුවන් අම්බලන්තොට, කොස්වත්ත සහ බේරුවල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24ත් 50 අතර වයස් සීමාවල පසුවන පුද්ගලයින් බව පොලිසිය සඳහන් කළා.
මූලික විමර්ශනයේ දී අනාවරණ වී ඇත්තේ මෙම බහුදින යාත්‍රා දෙක මිරිස්ස සහ මා වැල්ල ධීවර වරායන් වෙතින් පිටත්ව ගොස් තිබූ බවයි.
පොලිස් විමර්ශන නිළධාරීන් පවසන්නේ මෙම මත්ද්‍රව්‍ය දැනට විදෙස් රටක සැඟව සිටින දෙහිගෙදර බාලේ සහ ඔහුගේ සහෝදරයා වන දෙහිදෙගර කළු විසින් මෙරටට එවා ඇති බවයි.

මේ අතර මෙම සැකකරුවන් 11 දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය නිළධාරීන් විසින් අද පස්වරුවේ කොළඹ අළුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ සැකකරුවන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.

Share